සිසුවාගේ මරණය වසන් කළ මිතුරන් තිදෙනා අත්අඩංගුවට

903

15 හැවිරිදි පාසල් සිසුවකුගේ මළසිරුර අමුණක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධව තොරතුරු වසන් කළේ යැයි සැකපිට එම සිසුවාගේ මිතුරන් තිදෙනා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල, බත්ගංගොඩ, උඩුතුල ප‍්‍රදේශයේ අමුණක තිබී ඉකුත් 28 වැනිදා පෙරවරුවේ මියගිය සිසුවාගේ සිරුර සොයා ගෙන තිබේ. ක‍්‍රිකට් තරගයකට යන බව නිවෙස්වලට පවසා මෙම සිසුන් නිවෙස්වලින් ගොස් ඇතැයි පැල්මඬුල්ල පොලිසිය පවසයි.

පැල්මඩුල්ල ප‍්‍රදේශයේ මහා විදුහලක දහවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි මද්දුමගේ තිසර රුවන් නම් සිසුවකු මෙලෙස මියගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29 දා) රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවත්වීමට නියමිතව තිබේ.

මියගිය සිසුවා සමග ඔහුගේ පන්තියේ මිතුරන් තිදෙනා උඩුතුල අමුණේ දිය නෑමට ගොස් ඇති බව පොලිසිය සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පිළිගෙන තිබේ. මිතුරාට කුමක් සිදු වූයේ දැයි නොදන්නා බව එම සිසුන් පැවසුවද ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී මිතුරාගේ අතුරුදන් වීම ගැන පණිවිඩ හුවමාරු කරගෙන තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති ධම්මික බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment