සිසුවාට කනට ගසා පඩිපෙළෙන් තල්ලු කළ සැකකාර ගුරුවරයාට ඇප

234

හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකුගේ කනට හා ශරීරයේ ස්ථාන කිහිපයකට පහරදී තරප්පු පෙළකින් පහළට තල්ලු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක ගුරුවරයකු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඊයේ (16 දා) නියෝග කළාය.

ඉදිරියෙදී එම සිසුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන පරිදි කිසිදු අයුරකින් මානසික පීඩාවක් සිදුනොකරන ලෙසට අවවාද කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය.

පසුගිය 11 වැනිදා එම පාසලේ පන්ති කිහිපයක ගුරුභවතුන් නොමැති අවස්ථාවකදී සිසුන් පන්ති කාමර තුළ අධික ශබ්දයෙන් කෑකෝ ගසමින් හැසිරීම නිසා සැකකාර පාසල් ගුරුවරයා එම පහරදීම සිදුකර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි. පාසලක විනය පවත්වාගෙන යෑම සඳහා සිසුන්ට දඬුවම් කිරීමේ අයිතිය ගුරුවරුන්ට ඇති බවත් එම ගුරුවරයා එම දරුවාට කිසිදු අයුරකින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර නොමැති බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ගාමිණි පෙරේරා මහතා මේ රටේ පමණක් නොව ලෝකයේම ඉහළින්ම වැජඹෙනුයේ එලෙස ගුරුවරුන් වැරැද්දට දඬුවම් ලබාදී යහමඟට ගත් පුද්ගලයන් වන්නේ යැයිද අධීකරණයට පැවසීය.

ගුරුවරයකු දඬුවමක් ලබාදුන් පමණින් ඔහුව හෝ ඇයව රෝහල් ගතකර පොලිසියට හෝ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට පැමිණිලි කිරීමේ නව ප්‍රවණතාවයක් රටේ ඇතිවී ඇති බවත් එහිදී අධිකරණයට පැවසු නීතීඥ ගාමිණි පෙරේරා මහතා ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම මෙන්ම දරුවකු යහමඟට ගැනීම සඳහා සුදුසු දඬුවමක් ලබාදීමට ගුරුවරුන්ට ඇති අයිතිය කෙරෙහිද අධිකරණයේ අවධානය යොමු කළ යුතුව ඇතැය ිද අධිකරණයට කීවේය.

නීතීඥ කුමාර වෙල්ගම මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment