සිසුවිය ඇතුළේ සිටියදී පුස්තකාලය වසා ගිය නිලධාරීන්ට විනය පියවර

2018

ගාල්ල රිචඩ් පතිරණ පුස්තකාලයේ පොත්පත් කියවමින් දැරියක රැඳී සිටියදී එහි සේවකයන් පුස්තකාලයේ දොරගුළු දමා වසා පිටව යෑම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වා විනයානුකූලව කටයුතු කරන බැව් ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.

දොළොස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය පාසල නිමවීමෙන් පසුව මවත් සමඟ පෙරේදා (10 දා) පස්වරු 02.45 ට පමණ පුස්තකාලයට පැමිණ ඇත. දැරිය පුස්තකාලය තුළ පොත්පත් කියවමින් සිටියදී දැරියගේ මව පිටතට යන බව එහි සේවකයන්ට පවසා ගොස් ඇත. මව යළි පස්වරු 4.45 ට පමණ පුස්තකාලයට එන විට පුස්තකාලයේ දොරගුළු වසා දමා තිබී ඇත. දැරිය පුස්තකාලයේ ඉහළ මහලේ සිට මවට අතවනා තිබේ. මව විසින් මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ගාල්ල පොලිසියේ තිබූ පුස්තකාලයේ යතුර ගෙනවිත් දොරවල් විවෘත කොට දැරිය පිටතට ගෙන ඇත. මෙකී සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දැරිය ඊයේ (11 දා) ගාල්ල මහ නගර සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බැව් ගාල්ල නගරාධිපතිවරයා පවසයි. නියමිත වේලාවට පෙර එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් පුස්තකාලය වසා දමා ගොස් ඇත්ද යන්න පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකරන බව ද නගරාධිපතිවරයා පවසයි. පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර දඬුවම් කිරීමට කටයුතු කරන බව ද ගාල්ල නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිඳුම – රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment