සිසුවිය තෙවැනි මහලින් වැටුණු පසු ලැගුම්හලෙන් පැන්න සැකකරු අධිවේගයේ ගැලනිගමට ගිහින්

1762

මෙවන් විපත් දැයේ කිසිම දරුවෙකු හට නොම වේවා
මළසිරුර සඟවන්නැයි මිතුරාට දුරකථනයෙන් දන්වලා
අනෙක් ජෝඩුවයි මෝටර් රථයේ රියැදුරුයි රිමාන්ඩ්
ප්‍රධාන සැකකරු අල්ලන්න පොලිස් කණ්ඩායම් කීපයක්

කළුතර තාවකාලික නවාතැන් පළක තුන්වන මහලින් බිමට ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවිය ලැගුම් හලට කැටුව පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මියගොස් ඇති පාසල් සිසුවිය සමග ලැගුම් හලට ගිය කළුතර සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවළ සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියැදුරු වන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ නැගී බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන් කර වාහනය එහි දමා ගිය පසු මෝටර් රථයේ රියැදුරු එම ස්ථානයට ගොස් රථය රැගෙන ගොස් ඇත. පසුව පොලිසිය විමර්ශන කර කුලී පදනම මත ලබාගත් එම මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි එම මෝටර් රථයේ රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම් හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

හෝටලයේ පැයකට ආසන්න කාලයක් රැඳී සිටි අනෙක් යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇත. අනතුරුව ප්‍රධාන සැකකරු හෝටලයෙන් පිටව ගිය යුවළගේ තරුණයාට දුරකථන ඇමතුමක් ලබාදී තමා සමග සිටි පාසල් සිසුවිය පහළට ඇදවැටුණු බවත් “අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන්” යනුවෙන් එම යුවළට උපදෙස් දී ඇති බවත් සඳහන් වේ. ඒ අනුව හෝටලයෙන් මුලින්ම පිටව ගිය යුවළ මළසිරුර වැටී තිබුණ ස්ථානයට මීටර් 600 ක් පමණ පා ගමනින් ගොස් ඇත. පසුව එම ස්ථානයට ගිය යුවළ රේල් පාරේ තිබූ මළසිරුර අයිනකට ඇද දමා කළුතර දෙසට ගමන් කර ඇතැයිද පොලිසිය සඳහන් කළේය. නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත් කරන අයුරු හෝටල් සේවකයකු සහ හෝටලයේ දෙවන මහලේ ආහාර ගනිමින් සිටි කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.

කළුතර ශික්ෂණ රෝහලේදී පෙරේදා (07දා) පශ්චාත් මරණ පරීක්‍ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර විමර්ශනය වෙමින් පවතින තීන්දුවක් බවට පත්කරමින් ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත. ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වී ඇතැයිද සඳහන් වේ.

ප්‍රධාන සැකකරු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයකු බවත් විවාහකයකු වන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවත් පැවසේ. සැකකරුට මේ වන විට අධිකරණය විසින් විදෙස් ගුවන් ගමන් තහනමක්ද පනවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment