සිසු සැරිය ගාස්තු සංශෝධනයක්

194

පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ක්‍රියාත්මක බස් රථ සේවාවේ ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

එසේ නොකළහොත් සිසුසැරිය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සහනාධාර නියමිත වේලාවට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් එම සේවය නවතා දැමීමට සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පහසුම ක්‍රමය එය වුවද රටේ සුවහසක් වූ සිසු දරු දැරියන්ගේ අනාගතය ඒ අන්දමට කඩාකප්පල් කිරීම කිසිසේත්ම රජයේ බලාපොරොත්තුව නොවන බවත් එහෙයින් ඉදිරියේදී සිසු සැරිය බස් රථ සේවාව පවත්වාගෙන යෑමේදී සියයට හැත්තෑවක වැය බරක් රජය මගින් දැරීමටත් ඉතිරි සියයට තිහ දෙමාපියන් වෙත පැවරීමටත් රජය තීරණය කර ඇතැයි ඇමැතිවරයා පැවසීය.

මෙහිදී අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන් සඳහා නොමිලේ සිසුසැරිය ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බව කී ඇමැතිවරයා එයට අදාළ වැඩපිළිවෙළ මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment