මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් හයදෙනකු මහනුවර පොලිසිය මගින් ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.
විදුහල තුළදී දැඩි දඬුවම් විඳීමට ලක්වූ බව කියන සිසුන් 10දෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. එහිදී ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
පහර කෑමට ලක්වූ බව කියන දාහත් වියැති සිසුවියක හා පහළොස් හැවිරිදි සිසුවියන් දෙදෙනකු පෙරේදා (13දා) අලුයම් කාලයේ පාසලේ නේවාසිකාගාරයෙන් පලාවිත් මහනුවර දළදා මාලිගාවේ මඟුල් මඩුවේ රැඳී සිට ඇත.
පලාගිය සිසුවියන් සොයමින් සිටි පාසලේ ගුරුවරුන් දෙදෙනකු මඟුල් මඩුවේ රැඳී සිටි සිසුවියන් දැක ඔවුන් නැවත පාසල වෙත රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර එහිදී ඔවුන් ආපසු යෑම ප්‍රතික්ෂේප කරමින් කෑගසා තිබේ. දළදා මාලිගා පොලිසියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සිසුවියන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට භාර දී ඇත. එහිදී එම සිසුවියන් පවසා ඇත්තේ පාසල තුළදී තමන්ට නොයෙකුත් හිරිහැර අත්විඳින්නට සිදුවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාත් පිරිමි හා ගැහැනු නේවාසිකාගාර භාර පාලිකාවන් ලෙස කටයුතු කරන ගුරුවරියන් දෙදෙනකු සහ තවත් ගුරුවරුන් තිදෙනකුත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන් පස් දෙනකු පසුගිය 12දා රාත්‍රියේ ඔවුන් සිටි නේවාසිකාගාරයෙන් රහසේ පිටවී කාන්තා නේවාසිකාගාරයට ගොස් තිබෙන බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ සිසුවියන් හමුවීමට ගොස් තිබෙන බව අනාවරණය වූ බවත් දැනගන්නට තිබේ.
මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ඔවුන්ට දඬුවම් කර තිබෙන බවත් එය කෲර වධහිංසාවක් ලෙස අර්ථ ගැන්වීම වැරදි බවත් අදාළ පාසලේ ගුරුවරයෙක් ප්‍රකාශ කළේය.
වැඩිදුර විමර්ශනවලින් පසු පිරිමි නේවාසිකාගාරයෙන් රහසේ පිටව ගිය බව කියන සිසුන් පස් දෙනා ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර තිබේ. විදුහලෙන් පලාගිය සිසුවියන් තිදෙනාට අමතරව නේවාසිකාගාරයේදී පහර කෑමට ලක්වූ අනෙක් සිසුවියන් දෙදෙනාගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම සියලුම සිසු සිසුවියෝ අවුරුදු 15 ත් 17 ත් අතර වයසේ පසු වෙති. කාන්තා නේවාසිකාගාරයට ගිය බව කියන සිසුන් පස් දෙනාගේ හිසකෙස් කපා හිස මුඩු කිරීමට පවා විදුහල්පතිවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබෙන බව දැන ගන්නට තිබේ.
නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසමින් කලක පටන් පවත්වාගෙන ගොස් ඇති මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පංති පැවැත්වෙයි.
සමන්ති වීරසේකර