සිහල පුරයෙන් සිංහ පුරයට වඩින අපේ යතිවරයාණෝ

88

(බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ 84 වැනි ජන්මෝත්සවය දෙසැම්බර් 13 වැනිදාට යෙදී ඇත. සිහල පුරයෙන් සිංහ පුරයට කෘතිය උන්වහන්සේ පිළිබඳව කියවීමට මෙම ජන්මෝත්සවය අළලා කෙරුණු විවරණයකි.)

ශාන්ත වූ කයත්, ශාන්ත වූ වචනයත්, ශාන්ත වූ හිතත් ඇති ඉතාම උපශාන්ත වූ ලෝකාමිසය දුරුකළ භික්ෂුව උපශාන්තයෙකියි ධම්මපදයේ භික්ඛු වග්ගයේ සඳහන්ය. සිහල පුරයෙන් – සිංහ පුරයට ග්‍රන්ථය වූ කලී එවන් වූ භික්ෂුවක් පිළිබඳව දිගහැරෙන කතිකාවකි.

බෙල්ලන්විල රාජමහා විහාරය වනාහි අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයකින් සමන්විත ලංකාවේ චිරප්‍රසිද්ධ බෞද්ධ පන්සලකි. වර්තමානයේ එහි අධිපතිත්වය දරනුයේ බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේය.

මෙම ග්‍රන්ථයේ මෙසේ සඳහන්ය.

1984 දී බෙල්ලවිල රාජමහා විහාරයෙහි හත්වැනි විහාරාධිපතීන් වහන්සේ වශයෙන් පත්වූ ධම්මරතන නාහිමියන් අත්තිඩිය මාළිගාවත්ත පුරාණ විහාරය,

සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාල ආයතන, කඩුගන්නාව පාරමිතා භාවනා මධ්‍යස්ථානය සහ කලුබෝවිල ප්‍රතිබිම්බාරාම පුරාණ විහාරය යන ස්ථානයන්හි අධිපතිත්වය දරමින් ඒවා මෙහෙවීමේ භාරදූර වගකීම දරති. සිය ජීවිතයේ අටවන දශකය පසුකරන ධම්මරතන හිමි දේශ දේශාන්තරවල ආභාෂය අනුව යමින් පන්සල ආගමික සේවාවන්ට පමණක් සීමා නොකොට වෙනත් පූජනීය ස්ථානයකට නොදෙවෙනි වෙන තරමේ සත්කාරක සේවා රැසකට නායකත්වය සපයයි.

බෙල්ලන්විල කියූ සැණින් අප මතකයට එන්නේ පූජනීය ස්ථානයකි. එම පූජනීය ස්ථානය පිටුපස සිටින දැවැන්තයා සිය ජීවන මගේ 84 වැනි විය පසු කරන්නේ දෙසැම්බර් 13 වැනිදාය. සිය ජීවිත කාලය තුළම අනුන් සඳහා වෙහෙසෙමින් අන් අයගේ අවශ්‍යතා සොයා බලමින් දහසක් දුෂ්කරතා මැද ගෙවන ජීවිතය ගරු කටයුතුය.

යමෙකුගේ සාර්ථක ජීවිතයකින් ලබාගත හැකි ආදර්ශ බොහෝය. කුඩාකල සිටම මහණ දම් පිරූ අප කතා නායකයාණන් වහන්සේගේ ජීවිතයෙන් ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට ලබාගත හැකි ආදර්ශ අපමණය. එහි ගිහි ද පැවිදි ද කියා වෙනසක් නැත. සිය ජීවිතයේ හරි අඩකටත් වැඩි කාලවකවානුවක් විදෙස් ධර්ම දූත සේවයේ යෙදෙන අප ධම්මරතන හිමියන්ට බුදුදහම පිළිබඳව ඇත්තේ පුළුල් දැක්මකි. බුදුදහම ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කර ඉදිරිපත් කිරීම හොඳ ප්‍රවේශයක් වුව ද ධර්ම ප්‍රචාරයේදී ශාස්ත්‍රීය පදනම පමණක් සලකා බැලීම සුදුසු නොවන බව උන්වහන්සේගේ අදහසයි.

අප නාහිමියන්ට සිංගප්පූරුවේ ඇති ගෞරවය පිළිබඳව සිතාගන්නට ඇති එකම සහ හොඳම උදාහරණය වන්නේ උන්වහන්සේ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීමය.

බුදු වදනෙහි සඳහන් “දානය” පිළිබඳව උන්වහන්සේට ඇත්තේ මෙවන් අදහසකි.

දිනපතාම කෙනෙකුට යමක් කියාදීමත්, සවන් දීමත්, දානය පුරුදු කරගන්න හොඳ අවස්ථාවක්. දානය පුරුදු කරන්නට ඔබ ධනවත් වියයුතු නැහැ. දානය මහා පරිමාණයෙන් වියයුතු ද නැහැ. කාලය වුණත් නුවණක්කාර ලෙස අනුන්ගේ යහපතට වෙන් කිරීම දානයයි. බුද්ධිමත්ව අනෙක් තැනැත්තන්ට මග පෙන්වීමත් දානයයි.

භික්ෂූත්වය පිළිබඳව ධම්මරතන නාහිමියන්ගේ මතය විමසා බැලුවොත් එය වර්තමාන සංඝ සාසනයේ පිරිහීම පිළිබඳව විමසා බැලීමට කදිම උදාහරණයකි.

සිවුරත් හරියට නිල ඇඳුමක් වගෙයි. යම් භික්ෂුවක් සිහියෙන් දහමට අනුව සිවුරු දරන්නේ නම් හෙතෙම සැනසිල්ල ලබයි. සන්සුන් වෙයි. අවංක වෙයි. කරුණාවන්ත වෙයි. එවිට ඔහු නිතැතින්ම අනුන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් හට ද දහම් මග යෑමට අභිප්‍රේරණයක් වෙයි. සැබවින්ම පින් ඇත්තෙක් වෙයි.

භික්ෂූත්වය කෙළෙසී ඇති වර්තමාන සමාජය තුළට මෙම ඔවදන කොතරම් වටීද?

ධම්මරතන නාහිමි සිරිත තුළ දක්නට ඇත්තේ සරල, ප්‍රායෝගික මිනිසෙකි. ඒ මිනිසා භික්ෂූත්වයට, සමාජයට සහ දහමට නිසි අරුතක් ලබාදෙමින් සමාජය වර්ණවත් කරයි. හැඩ කරයි.

බෙල්ලන්විල අලෝකය යනු අප කතානායකයාණන් වහන්සේය. ධම්මරතන නාහිමියන්ගේ සෙවනැල්ල මෙන් වැඩ සිටි විහාරාධිකාරී බෙල්ලන්විල විමලරතන හිමියන්ද මේ මොහොතේ සිහිපත් කළ යුතුමය. අනපේක්ෂිතව අපවත් වී වදාළ ද විහාරස්ථානයේ කටයුතු සඳහා උන්වහන්සේගෙන් සිදු වූ අමිල සේවාව සදානුස්මරණීයයි.

දෙස් විදෙස් සුපතළ විහාරයක් බවට බෙල්ලන්විල රාජමහා විහාරය පත්කරන්ට ධම්මරතන නාහිමියන් ගන්නා වෙහෙස ප්‍රශස්තය. ගරු කටයුතුය. 1947 දී දුරුතු පෙරහැරක් ලෙස කුඩාවට ආරම්භ කළ පෙරහැර මංගල්‍ය ඇසළ පෙරහැරක් බවට පත්කරමින් මේ දක්වාම පවත්වාගෙන ඒමේ ගෞරවයද උන්වහන්සේ සතුය.

ධම්මරතන නාහිමියන්ගේ දිවිසැරිය පිළිබඳව ලියවී ඇති මෙම මහඟු ග්‍රන්ථයෙන් නාහිමියන්ගේ සරල දිවි පෙවෙත වටහා ගැනීමට අත්වැල් සපයයි. එමෙන්ම තරුණ භික්ෂුන් වහන්සේට ඉන් ලබාගත හැකි ආදර්ශ බොහෝය. ජීවිතයේ කටුක බව වුවද සැහැල්ලුවෙන් ගනිමින් සිය අරමුණ කරා ගමන් කරන්නේ කෙසේද යන්න මෙයින් නිරූපණය කෙරේ.

දීපාල් සූරියආරච්චි, සරත් පෙරේරා සහ විජයබණ්ඩාරයන්ගේ කුසලතාවෙන් ඉතා කදිම නිර්මාණාත්මක නිමාවකින් සහ සිත්ගත්නා සුලු අයුරින් හැඩවූ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

දෙසැම්බර් මස 13 වැනිදාට සිය ජීවන ගමනේ 84 වැනි විය පසුකරන අප කතා නායකයානණන් වන බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේට චිර ජීවනය පතමු.

දීප්ති ප්‍රමිතා අධිකාරි

advertistmentadvertistment
advertistmentadvertistment