සිහිනෙන් පෙන්වූ තැන නොසිඳෙන දිය උල්පතක් මතුවෙලා

721

රණබාහු සිව්දරු පියෙකි. කලක් රාජ්‍ය ආයතනයක වැදගත් ඉහළ පෙළේ තනතුරක් දරමින් දරු පැටවුන්ට උගන්වා ඔවුන්ව ලොකු මහත් කළේ මහත් පරිශ්‍රමයකින් පසුවය.

 පරම්පරාවෙන් උරුම වූ මහගෙදර ඉඩමේ අලුත් ගෙයක් තනාගන්නත් පොඩි පෑවිල්ලටත් ළිඳ සිඳීයෑම නිසා වතුර සොයා දිවියම කැප කරන්නටත් රණබාහුලාට සිදුවිය.

 මේ වත්තේ හැම තැනම ළිං හෑරුවත් කළුගල් තලාව නිසා ඒ හැරූ ළිං වසා දැමීමට සිදුවිය.

 තරුණ වයසේ සිටම රැකියාවෙන් විශ්‍රාම යනතෙක්ම වතුර ප්‍රශ්නයෙන් බැටකෑ රණබාහු ඒ ගැන දුක්වූ වාර ගණන අනන්තය. අප්‍රමාණය.

 විශ්‍රාම ගිය පසු වඩාත් ආගම දහමට යොමු වූ ඔහු අතිශය දැහැමි ජීවිතයක් ගෙවන්නට ගත්තේ සැඳෑ සමය අර්ථ ගන්වමිනි.

 පින් දහම්වල යෙදෙමින් අනගාරික දිවි පෙවෙතකට යොමුවූ රණබාහු දිනක් නින්දට වැටිණ.

 ඔහුට කදිම සිහිනයක් පෙනිණි. ඒ නිවස පිහිටි ඉඩමේ මුල්ලටම වන්නට දිය බුබුළකි. එය සිහිනෙන් දුටු ඔහු අවදිවූයේ ඒ මතකය සමගිනි.

 උදැල්ල අතට ගත් ඔහු සිහිනෙන් පෙන්වූ තැනට පහරක් ගැසුවේය. මෙතැන ළිඳ හාරන්න. ඒ අනුව ළිඳ හෑරිණි. කිසිදා පෑවිල්ලකටත් නොසිඳෙන දිය උල්පත මතුවිය. රණබාහුගේ සිත පිරී ගියේය. පුදුමයි. නමුත් සත්‍ය එයයි.

 – ප්‍රේම්

advertistmentadvertistment
advertistmentadvertistment