සිහින සහ බොරු!

43

දරාගන්නට නොහැකි තරම් දරුණු ලෙස විදුලි බිල ඉහළ යෑමක් සිදුවෙලා. අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහළ දැමීමේ පුවත සැලවීමත් සමඟ රටේ පුරවැසියන් සියලු දෙනාටම දැනුනේ එකම මොහොතක සියලු දෙනාටම ‘කරන්ට් වැද්දුවා’ වැනි හැඟීමක්!

අද රටේ සිටින්නේ දහසකුත් ජීවන දුෂ්කරතා මැද, සිය පණ නළ යන්තම් අල්ලාගෙන.

මේ බරපතළ විදුලි බිල ඉහළ යෑමත් සමග රට පුරා ක්ෂේත්‍ර ගණනාවකට දරාගත නොහැකි තරමේ ප්‍රහාරයක් එල්ල වෙනවා.

දශක ගණනාවක් මුළුල්ලේ අපි බලශක්තිය පිළිබඳව බරපතල අර්බුදයක ඉන්නවා.

මේ මොහොතේ මට සිහිපත් වෙන්නේ පේසාලේ තෙල් පිළිබඳව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ පේසාලේ තෙල් හමුවීම ගැන ගිය කුප්‍රකට මිථ්‍යාව ගැන ප්‍රවෘත්තියට.

“වේලාව රාත්‍රි 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මෙන්න ප්‍රවෘත්ති. අවුරුදු හැත්තෑපහකට ප්‍රමාණවත් තෙල් නිධි පේසාලෙන් සොයා ගෙන තිබේ. මේ නිසා නොබෝ දිනකින් ලංකාවෙන් තෙල් අපනයනය කළ හැකි බැවින් ලංකාවට කිසිම විදේශ විනිමය ප්‍රශ්නයක් අනාගතයේ ඇති නොවනු ඇත.”

1974 ජුලි 30 ප්‍රවෘත්ති විකාශය වුණේ එහෙම.

ප්‍රවෘත්තිවලට එහෙම කියනකොට ආණ්ඩුවේ පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ උදවියට සිනාසුනේ උපහාසය පිරි සටන් පාඨද සමගයි.

තව මොනවද අඩු
මෙන්න බොලේ බඩු
යූඇන්පිය කුඩු
යමුද මචෝ මඩු”

මැතිනිගේ මිනිස්සු පෙළපාලි ගියේ එහෙම ය. හැබැයි අවුරුදු 50ට කිට්ටුවෙන්න ආවත් පේසාලෙන් තෙල් හමුවී නැහැ. එහෙත් ‘පේසාලේ’ තෙල් නැතැයි පළ කළ පුවත්පතක කතුවරයා පුවත්පත් මණ්ඩලයට ගෙන්වා නඩුව විභාග කර ‘පේසාලේ තෙල් ඇති’ බවට තීන්දුවක් ද දුන්න.

ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවේ 1967 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව. 1970 මැතිනියගේ ආණ්ඩුව රුසියානු සමාගමට මෙය භාර දුන්නා. අඩි 250ක් කැණීම් කළත් තෙල් ලැබුණේ නැහැ.

ඊට වසර ගාණකට පස්සේ ආපහු ‘ගෑස් නිධියක්’ මතුවුණේ මහින්ද රාජපක්ෂ යුගයෙ.

”මන්නාරම් ද්‍රෝණියෙන් අතිවිශාල බොරතෙල්, ගෑස් නිධියක් මතුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දළදා මාලිගාවේ පැවැති උත්සවයකදී පවසා සිටියේය. ඉන්දියාවේ කෙයන් සමාගම ජපානයේ “වික්යු” නම් අතිදියුණු නෞකාවේ තාක්ෂණය යොදාගනිමින් මේ කැණීම්වලදී මේ ගෑස් නිධිය මතු වූ බව මුළු රටට ජාතියටම දළදා මැදුරේ සිට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින් බව ජනපතිවරයා පැවැසීය.

2011 ඔක්. 03 ලංකාදීපය වාර්තා කළේ එහෙම.

බොහෝ අවස්ථාවල අපි රටක් ලෙස අවස්ථාවාදී ජනප්‍රිය දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් රටේ අනාගතය බිල්ලට දුන් අවස්ථා අප්‍රමාණව තිබෙනවා.

ඒ නිසාම රට බලවත් ව්‍යසනයන්ට මුහුණ දී තිබෙනවා.

අද තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍ර හේතුකොටගෙන ඔවුන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටිනවා.

දිනපතා ඉතා දරුණු ලෙස විදුලි බිල, ජල බිල ඇතුළු ජීවන වියදම උසට යද්දි ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයට මුවාවී බලය තහවුරු කර ගැනීමේ කූට වෑයමක යෙදෙනවා.

නමුත්,ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කළ සහ කරන සෑම බලවේගයකට ම අත්විඳින්නට සිදුවන ඉරණම කනගාටුදායක බව සිහිපත් කළ යුතුය.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment