‘සිහින හොරු අරන්’

602

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රය. තුන් වේල කෙසේ වෙතත් වේලක් හැර වේලක් කෑම පවා අභියෝගයක් බවට පත්ව ඇත. දරුවන් පාසල් වෙත යවා ගැනීමට පවා අතමිට මුදල් හිඟව තිබෙන මොහොතක මව්පියවරුන් සිටින්නේ කියාගත නොහැකි ආතතියකිනි.

රටේ තරුණ තරුණියෝ ද අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිති. ඔවුනට රැකියා නැත. තිබෙන රැකියාවලින් ලබන සොච්චම් වැටුප බස් ගාස්තු හා දිවා ආහාරයට වැය කළ පසු පොකැට්ටුව හිස්ව යන කල අත ඉතිරි වන මුදලක් නැත. පෙම්වතකු, පෙම්වතියක නම් ඔවුනට ගෙයක් දොරක් හදාගෙන ආවාහ විවාහයක් කරගැනීම සිහිනයක් බවට පත්ව ගොසිනි. දෙමාපිය නෑ පරපුර වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම පසෙකට කර සුසුම් හෙළන තරුණ පරපුරට මේ රටේ ආර්ථික අර්බුදය කර තිබෙන විනාශය අතිමහත් බව අපගේ වැටහීමය.

දැන් තරුණ තරුණියන්ගේ එකම සිහිනය කොහේ හෝ රටකට පැනගැනීමය. මෙවර කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයැදුම්පත් අසූපන්දහස් හැත්තෑ දෙකක් ලැබී ඇත. 2022 වසරේදී කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට ලැබී තිබුණේ අයැදුම්පත් 31,378කි. මෙවර එහි වැඩිවීම 53694 කි. තරුණ තරුණියන් කොරියාවට යෑමට වළිකන්නේ මේ රටේ ජීවත් වී ඵලක් නැති බව කියමිනි.

තරුණ තරුණියන් විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පෝලිමේය. ඉකුත් දිනවල දිනකට පාස්පෝට් 5000ක් පමණ නිකුත් කිරීමට සිදුවූයේ පාස්පෝට් ඉල්ලුම දෙගුණයකින් පමණ ඉහළ යෑම නිසාය.

මේ අල්ලපනල්ලේ විදේශ රැකියා ජාවාරම්කරුවන් බොර දියේ මාළු බාන්නට පටන්ගෙන ඇත.

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්‍ෂ පහේ සිට රුපියල් ලක්‍ෂ විස්ස දක්වා මුදල් එකතු කරගත් නරුමයන් දෙදෙනකු මරදාන පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඉකුත් 01 වැනිදාය. විදේශ රැකියා කාර්යාංශය සඳහන් කරන පරිදි කැනඩා රැකියා ජාවාරමට හසු වූ තරුණ පිරිස හැත්තෑවකි. ඒ සම්බන්ධ තවත් පැමිණිලි ලැබෙමින් ඇත. whatsapp Group මගින් මේ නරුම ජාවාරම්කරු මුදල් එකතු කරගෙන ඇත. පොලිස් අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එකකු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙකි. මේ එකකු පමණි. ජපානය, කැනඩාව, රුමේනියාව, ඊශ්‍රායලයට රැකියාවලට යොමුකරන බව කියමින් විවිධ මට්ටමේ ජාවාරම්කරුවෝ අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින මේ රටේ දූ පුතුන්ගේ ඊරිමාංශ ද උරා බොමින් සිටිති. දෙමාපියන් ඉඩකඩම් උකස් තබා කණකර ටික උකස් තබා මේ මුදල් සොයා ජාවාරම්කරුවන්ට පුදන්නේ වෙන කරන්නට කිසිම දෙයක් නැති වී තිබෙන නිසාය. විවිධ දේශපාලනඥයන්ගේ නම් ද භාවිත කර මේ ජාවාරම සිදුකරන්නේ හිත්පිත් නැති අළුගෝසුවන් බව සැබවි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මීට වසරකට දෙකකට පෙර රැකියා ජාවාරම් පිළිබඳ මසකට ලැබී තිබුණේ පැමිණිලි හැටක පමණ ප්‍රමාණයකි. නමුත් මේ වනවිට දිනකට ලැබෙන පැමිණිලි ගණන තුන්සීය ඉක්මවා යන බව කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර සිටී.

තත්ත්වය ඉතා දරුණුය. ඉච්ඡාභංගත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ අවසාන බලාපොරොත්තුව ද ජාවාරම්කරුවන්ට යටවී ගොසිනි. රටේ සම්පත් හොරාකෑ උන්ගෙන් පිරිසක් බලයේ නැත. මේ රටේ සොරකම එකම මඟ බවට පත්කරගෙන සිටි නඩයට මුවාවන මිනිස් ජාවාරම්කරුවෝ අහිංසක මිනිසුන්ගේ ඉඩම කඩමද සොරා ගනිමින් සිටිති. මෙයාකාරයට ගියහොත් අන්තිමට මේ රටේ මිනිසුන්ට ඉතිරි වන්නේ අමුඩය පමණකි.

විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මේ මිනිස් ජාවාරමුන්ට එරෙහිව තනි සටනකය. මිනිස් වෙළෙඳාමට තිත තබන්නට 1981 අංක 21 දරන විදේශ රැකියා සංශෝධන පනත යළි සංශෝධනයට ලක්කරන්නට ඇමැති සැලසුම් කර ඇත.

කෙසේ නමුත් එකක් ඉතා පැහැදිලිය. මේ රටේ මිනිසුන්ගේ සිහින හොරු ගෙන ගොසිනි. තරුණ තරුණියන්ට ඉතිරි එකම සිහිනයන් චෞර වළල්ලකය. නීතිය සියල්ලට උඩින් තිබෙන බව සත්‍යයකි. මේ මිනිස් ජාවාරමුන්ට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්නේද? කතාවට පමණක්ද? අපි බලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment