සිහිමුළා නොවී සතුටින් මියැදෙමු

290

පිංවත ප්‍රශ්නවලින් ගිනිගත්ත හදවතකට, බවුසරයකින් වතුර විද්ද කියල හරියන්නේ නැහැ. වතුරවල රස්නය දැනෙද්දී, ඒ හදවත තවත් ගිනිගන්නවා. පිංවත ගිනිගත්ත හදවතකට කඳුළු ගෑස් ගැහුවාය කියලා හරියන්නේ නැහැ. වේදනාකාරී දෑස්වලින් කඳුළු මතුවෙද්දී, ඒ හදවත තවත් ගිනිගන්නවා. පිංවත ගිනිගත්ත හදවතකට මෛත්‍රිය ගැන කියාදී වැඩක් නැහැ. මෛත්‍රියක් නැති මනුෂ්‍යයන්ගේ ඒ වචන ඇසෙද්දී, ඒ හදවත් තවත් ගිනිගන්නවා. පිංවත ගිනිගත්ත හදවතක්, සත්‍යයයි, ඇත්තයි ඉල්ලන්නේ. ඒත් අපි ළඟ තිබෙන්නේ බොරුව නම් ඒ හදවත් තව තවත් ගිනිගන්නවා හැර කෙසේ නම් ඒ ගිනි නිවීයන්නද. පිංවත ජල ප්‍රහාර, කඳුළු ගෑස් සහ මෛත්‍රියක් නැති මනුෂ්‍යයන්ගේ මෛත්‍රිය වෙනුවට, ගිනිගත් හදවත් වලට “ඇත්ත” දෙන්න. එවිට අනෙක් සියල්ලම බොරුවක් බව වැටහේවි. සත්‍යය නැති ලෝකයක, සත්‍යයට හැර, අන් සියල්ලටම හොඳ වටිනාකමක් ලැබෙනවා. භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ පංචශීලයේ ඇති, බොරුකීමෙන් වැළකීම කියන එක ශිල්පදයක තිබෙන උතුම් වටිනාකමයි.

පිංවත් ඔබ දන්නවාද මේ ලෝකයේ තිබෙන ලොකුම බොරුව මොකක්ද කියලා. ලෝකයේ තිබෙන ලොකුම බොරුව තමයි, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ, නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මියයි කියන බොරුව. අපි හැමෝම මේ ලොකුම බොරුව සරණ යන නිසාමයි පුංචි පුංචි බොරු සියල්ලක්ම කියන්නේ. බොරුවෙන් තොර ලෝකය හරිම ලස්සනයි. ඒ ලස්සන ලෝකය පංචශීලයෙන්ම බබලනවා. උතුම් සම්මා සතිය සහ සම්මා සමාධිය, ඒ ලස්සන ලෝකය දෙස අහක බලාගෙන ඉන්නේ නැහැ. ඒම ධර්මතාවයෝ, විදර්ශනා ප්‍රඥාවට පාවඩ එලන්නේ, සප්තබොජ්ජංගයන්ගේ සුදු රෙදි වලින්මයි. පිංවත මොනතරම් නම් ලස්සන ධර්මයක් තිබෙන ලෝකයකද, අපි මේ බොරුවට යටවෙලා ජීවත්වෙන්නේ. පිංවත් ඔබට පෙනෙනවා නේද, අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ තිබෙන කුරීරුභාවය අම්මෝ, පැටව් ඉන්න කොටි දෙනක් වගේම දරුණුයි. ඒත් සෙනෙහසින්ම අපි මේ තුරුළුවෙන්න යන්නේ ඇයටම නේද. පිංවත ඔබ මරණාසන්න මොහොත දක්වා, නොනැසෙන ජනප්‍රියභාවයට කැමති නැද්ද. ඔබ අභියෝග ඉදිරියේ මහමෙරක්සේ සිටගන්න කැමති නැද්ද. ඔබ දිනාගත් සියල්ලම අපරාජිතව බුක්තිවිඳ මැරෙන්නට කැමති නැද්ද.

සිහිමුළා නොවී සතුටින් මියැදෙමු

ඔබ සිහිමුලානොවී මරණයට පත්වෙන්නට කැමති නැද්ද. මෙය සටහන් තබන භික්ෂුව නම්, ඉහත කාරණා සියල්ලටම කැමතියි. ඒ නිසාමයි භික්ෂුව ශීලය ඉදිරියේ හොඳින් සිහිය පවත්වාගෙන යන්නේ. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි පිංවත් ඔබත්, ඉහත කාරණාවන්ට ගොඩාක්ම කැමතියි කියලා. පිංවත අංක එකට ශීලය ගන්න. අංක දෙකට ඔබේ ජීවිතය දමන්න. දැන් ඔබට පුළුවන් බොරුවෙන් පිරුණු ලෝකය තුළ සැබෑම ඇත්ත දකින්න. රූපය අනිත්‍යයි, වේදනාවෝ අනිත්‍යයි, තවත් කුමකට නම් බොරු කියන්නද, බොරු කරන්නද. පිංවත සිහි මුලා නොවී මැරෙන්න කැමතිනම් ලස්සන “ඇත්තට” එන්න.

බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයින්, අභියෝග කියන කාරණය ධමනය කොටගෙනයි වැඩසිටින්නේ. උන්වහන්සේලාට අභියෝගයක් යනු තවත් ධර්මයක් පමණක්මයි. උන්වහන්සේලා පළමුවැනි අදියරේදී අභියෝග ධමනය කරන්නේ, තම ශීලයේ ශක්තියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කම්පිත ලෝකය ඉදිරියේ, අකම්පිතව, මහමෙරක් සේ නොසැල්වී වැඩසිටීම ශීලයේ ආනිශංශයක්මය කියලා. ශීලයට පුළුවන් ලෞකික ප්‍රඥාව තුළ ලෝකය විසුරුවා පුළුල්ව දැකීමට අවශ්‍ය, ඉන්ද්‍රීය සංවරභාවය ඇතිකොට දෙන්න.

සිල්වතා තමා ඉදිරියට එන අභියෝග සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් තුළින් ධර්මානුකූලව විවෘත කොටදකිනවා. එවිට ඔහු පසුවෙන්නේ සම්මා සතිය සහ සම්මා සමාධිය තුළමයි. සප්තබොජ්ජංගයෝ වැඩුන සිතක් තුළ, අභියෝග දියවෙලා යන්නේ, හිරුඑළියට නිරාවරණයවූ ගිතෙල් පිඩක් වගේමයි.

පිංවත ඔබ මෛත්‍රියට කැමතිද. මෛත්‍රියට පුළුවන් ඔබ ඉදිරියට එන අභියෝග, එම අභියෝග ඔබ වෙතට ඒමට මුල් වූ, අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවය දෙසටම, ආපසු හරවා යවන්නට. හැබැයි ඔබේ මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණයවූ මෛත්‍රියක් වෙන්න ඕනේ. පිංවත එවිට ඔබ ඉදිරියට එන බාධක, වැටකඩොළු, අතීත අකුසල් සංස්කාර, මෛත්‍රිය ඉදිරියේ, ඔබේ අතේම නැටවෙන රූකඩයක් පමණක්ම වෙනවා. පිංවත අම්බලන්ගොඩ රූකඩ කලාව අපේ ජීවිතවලින් දුරස්ථව ගියත්, අභියෝග ඉදිරියේ එම අභීයෝග නටවන, මෛත්‍රියේ රූකඩ කලාව, මේ මොහොතේත් ජීවමානව තිබෙනවා. පිංවත අද අදම මෛත්‍රිය වඩන්න. ඒ ලස්සන වෙන්න නොවේ. ඔය තිබෙන ලස්සන මදැයි. කරුණා කර සම්මා සතිය, සම්මා සමාධිය උදෙසා ඔබේ මෛත්‍රිය, සුදු මල් ඇතිරූ පාවඩයක් කොටගන්න. පිංවත බලන්නකෝ මෛත්‍රිය මොනතරම් නම් ලස්සනද කියලා. ඔබ තවමත් ජීවිතයට ලස්සන ගේන්න කරන මිච්චා ධර්මයන්, කාටත් හොරෙන් ඔබම සිතලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ නම් සංඝයා වන අපිට දුන්නේ තුන්සිව්රයි, පාත්‍රයයි පමණක්මයි. අඩුම ගානේ පවුඩර් පෙට්ටියක්වත් අපිට විනයානුකූලව දීලා නැහැ. ඒත් අපි අවලස්සනත් නැහැ. අපි ලස්සනත් නැහැ. අපි අනිත්‍යවූ ඵස්සය හේතුවෙන් සකස් වෙන, අනිත්‍ය වූ විඳීම් දෙස, ධර්මයේ උපේක්ෂාවෙන් දකිමින්, ඔබේ ලෝකයත් ලස්සන කරනවා. පිංවත මහා සංඝරත්නයයි ඔබේ ලෝකය ලස්සන කරන්නේ. පිංවත හදවතින්ම කොණ්ඩඤ්ඤ මහෝත්තමයන් වහන්සේට, මහා ප්‍රජාපතී උත්තමාවියට වන්දනා කරන්න. ඒ නොමැකෙන උත්තරීතර ලස්සන, ඔබ අගය කරන ඔබේ මැකීයන රූපයේ, නොමැකෙන, ලස්සනක් බවට පත්කොටගන්න.

පිංවත මේ දවස්වල ඔබේ සිත, නාසයේ හුස්ම රැල්ලෙන් ඔබ්බට අරගෙන යන්න නම් එපා. එතැනයි සංසිඳුනු සිතක ඇරඹුම තිබෙන්නේ. ඔබේ සිත, නාසයේ හුස්ම රැල්ලෙන් බැහැරට ගියොත් ඔබටත් හොරා ඔබේ සිත සිත්සේ අයාලේ යාවි. මේ දවස්වල හන්දියක්, හන්දියක් ගානේ දන්සල් වැහි වැහැලා. මාරයාගේ දන්සල් කෑම මේසවල ලෝභ, ද්වේශ, මෝහ, රසවත්ම ආහාර, අතුරුපස වලින් දන්සල් පිරී ඉතිරී යනවා, පිංවත තිබ්බ පලියට, අඬගහපු පලියට, දන්සල් වඳින්න යන්නේ නැතුව බොහෝම සිහිනුවණින්, මේ නිමේෂයේදී ගිනිගන්නා පංචඋපාදානස්කන්ධ ලෝකය පරිහරණය කරන්න. මාතෘභූමියට වෙනසක් අවශ්‍යයි, ඒත් එය බටහිර ලෝකයට අවශ්‍ය කරන, තවත් විනාශයක් නොවිය යුතුමයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, වත්මන් දේශපාලන ප්‍රශ්න වලට ධර්මානුකූල විසඳුම කුමක්ද කියලා. පිංවත භික්ෂුව ලෝකය දකින්නේ අවිද්‍යාවේ කැඩපත තුළින්. අවිද්‍යාව තිරිහන් කරන රස ඕජාව වෙන්නේ තෘෂ්ණාවයි. ඉහත අර්ථයන් බැහැර කරලා දේශපාලන ප්‍රශ්නයක් විග්‍රහ කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට පනවලා තිබෙන්නේ රටේ නීතියට, රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නය කියලා. ව්‍යවස්ථාවෙන් බැහැර විසඳුම් වලට සංඝ සමාජයට අනුශාසනා කරන්න බැහැය කියලා භික්ෂුව විශ්වාස කරනවා. වර්තමාන දේශපාලන අර්බුදයට ධර්මානුකූලව සටහන් තැබිය හැකි විසඳුම් දෙකක් තිබෙනවා. වර්තමාන රාජ්‍ය නායකතුමා නිවැරදි කරගෙන, දූෂිත ඇමැතිවරුන්ගෙන් තොරව නියමිත ධුර කාලය අවසන් කරන්න එතුමාට ඉවසීමෙන් සහ අවධියෙන් අවස්ථාව දෙන්න. ඊට ඔබ අකමැතිනම් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළින් තුනෙන් දෙකේ බහුතරයකින් එතුමාව නීත්‍යානුකූලව ඉවත්කර ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන්ට අදාළවයි භික්ෂුව ඉහත සටහන තැබුවේ. භික්ෂුව බොහෝම කරුණාවෙන් දැනුම් දෙනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන්ට ගරු නොකලොත්, හෙට මුළු රටම කොළඹට පැමිණියත්, ඔබ ලබන ජයග්‍රහණය තවත් විනාශයකම ආරම්භයක් වෙන්න පුළුවන්ය කියලා. භික්ෂුව මේ සටහන තබන්නේ අප්‍රේල් මාසේ තුන්වැනි සතියේ, පිංවත මේ මොහොතේ රජයේ පාර්ශවයන් සිල් සමාදන්වූ වේශයෙනුත්, විපක්ෂයේ පාර්ශවයන් ගැලවුම්කරුවන්ගේ වේශයෙනුත්, පිංවත් ජනතාව ගාලුමුවදොර පිටියේ සටන්පාඨ කියමින්, සිංදු, විරිඳු කියමින්, අවුරුදු ක්‍රීඩා, කිරි උතුරවමින්, බොහොම සංවරශීලි වේශයෙනුත් පෙනී සිටියත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉහත සියල්ල දැකිය යුත්තේ, අවිද්‍යාවේ කැඩපත තුළින්, විද්‍යාවේම ඇසෙන් බව ගෞරවයෙන් දැනුම් දෙනවා. ඉහත සටහනට යම් පාර්ශවයක විරෝධයක් තිබේ නම්, බොහෝම කරුණාවෙන් දෑත් එකතුකොට භික්ෂුව සමාවෙන්න කියලා කියනවා.

පිංවත මේ දුෂ්කර මොහොතේ මෛත්‍රි චිත්තය ගොඩාක් වටිනවා. කරුණාකර මේ නිමේෂයේදී ඔබේ මෛත්‍රිය කුඩු කරගෙන, කොටු කරගෙන සිටින්නට එපා. ඔබේ මෛත්‍රිය භවාත්‍රය පුරා විසුරුවා දකින්න. භික්ෂුව මේ නිමේෂයේදිත් භවාත්‍රයටම මෙත් වඩනවා. මුළු මනුෂ්‍ය ලෝකයේම ජීවත්වෙන පිංවත් ජනතාව සිහියට නඟාගෙන, භික්ෂුව හදවතින් පසඟ පිහිටුවා එක චිත්තයකින් ජනතාවට වන්දනා කරනවා. සියලුම දිව්‍යතලවල දෙවියන්, සිහියට නඟාගෙන, භික්ෂුව හදවතින්ම පසඟ පිහිටුවා එක චිත්තයකින් සියලුම දෙවියන්ට වන්දනා කරනවා. සියළුම බ්‍රහ්මතලවල් සිහියට නගාගෙන, භික්ෂුව සියලුම බ්‍රහ්මයන්ට හදවතින්ම පසඟ පිහිටුවා එකචිත්තයකින් වන්දනා කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ මෛත්‍රිය භවාත්‍රයම පිනෙන් උණුසුම්කොට දෙනවා. පිංවත ඔබට සිතෙන්න පුළුවන්, භික්ෂුව ඇයි දෙවියන්ට, බ්‍රහ්මයින්ට හදවතින් නමදින්නේ කියලා. පිංවත තමා බිංදුවට වැටිලා ලෝකයාට යහපත දෙන තැන්, මහා සංඝරත්නය නැමති අර්ථය තුළ අප්‍රකටව ඕනෑ තරම් තිබෙනවා. මේව ගැන සටහන් තබන්නට ගියොත් නොදන්නාභාවය නිසාම අනවශ්‍ය විවේචනයන්ට ලක්වෙන්න පුළුවන්.

පිංවත වෙසක් මාසයේ උදාවේදී භික්ෂුව ඔබට හදවතින්ම කෙරෙන වෙසක් සුභපැතුමකුයි, ඉහත සටහන තුළින් ඔබට අදම තැපැල් කලේ. මෙත් සිතින් මේ වෙසක් සුභ පැතුම්පත පිළිගන්න. පෙරළා භික්ෂුවට වෙසක් සුභ පැතුම්පත් එවන්න එපා. ඒ සිතත්, ඒ කැමැත්තත්, අවිද්‍යාවටම භාරදෙන්න. එවිට ඔබ සමස්ත ගෞරවණීය මහා සංඝරත්නයටම වෙසක් සුභ පැතුමක් සිදු කළා වෙනවා. පිංවත හැඟීම් වලට යටවුණොත් ඔබේ දෑස්වලට කඳුළු උනන්න පුළුවන්. වහාම නාසයේ හුස්ම රැල්ලට සිහිය පිහිටුවා ගන්න.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment