සිහිය – අසිහිය

1248

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් බදාදා (අගෝස්තු 11) තහවුරු කරන ලද වාර්තාව අනුව එදින පමණක් මාරාන්තික කොරෝනා වසංගතයට බිළිවූ ජීවිත ප‍්‍රමාණය 156 කි. එයින් මරණ 121 ක්ම වයස 60ට වැඩි පුද්ගලයන්වීම විශේෂත්වයකි. දිනක් ඇතුළත 150 කට වඩා පිරිසක් මියගිය ප‍්‍රථම වතාව මෙය වේ. කොරෝනා පළමු රැල්ලේදී මියගියේ 13 දෙනකු පමණක් වන අතර දෙවැනි රැල්ලේදී 596 දෙනෙක් මරණයට පත්විය. ඉතිරි පන්දහසකට වැඩි පිරිස තෙවැනි රැුල්ලේ ගොදුරු වෙති. මෙය ඉතාම බරපතළ තත්ත්වයකි. ආණ්ඩුව ලොක්ඩවුන් කරන තුරු නොසිට ජනතාව හැකි පමණින් තම නිවසේ ලොක්ඩවුන් වීම වැදගත්ය. නැත්නම් වේගයෙන් ඩෙල්ටා ප‍්‍රහාරයට ඔබ ලක්වීම අනිවාර්යය. ආර්ථිකය බංකොලොත් නොවී පවත්වාගෙන යෑමත් ජීවිත රැුකීමත් ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ජනතාව කිසිවකුගේ අණක් ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. තමාගේ රැුකවරණය තමා විසින්ම සාක්ෂාත් කරගැනීම ඉතාම වැදගත්ය. ඉටි බෑගයක වෙලී අවසන් ගමන් යන්නට සිදුවුවහොත් කාටවත් බැන අ`ඩගසා දුක කියන්නට වන්නේද නැත. හුස්ම හිරවන්නේ කොයි වෙලාවේද යන්න කිව නොහැකිය. එදා වුහාන් වල ජනතාව ලොක්ඩවුන් වී සිටින අයුරු රූපවාහිනියෙන් දුටු පිරිසක් මේ වෛරසය හමුවේ මරණය කරා යාවි යැයි සිහිනෙනුද නොසිතන්නට ඇත. එහෙත් මේ පන්දහසකට අත්වූ ඉරණමින් පැහැදිලි වන්නේ කවරක්ද? ඔබ ලොව කොතනක සිටියද මේ වෛරස ප‍්‍රහාරයට ලක්වීමේ ඉඩ බොහෝ සේ වැඩි බව නොවේද?

 වසංගතයෙන් පලායෑම කළ නොහැක. යුද්ධයක් පවතින විට රට හැර යා හැකිය. ත‍්‍රස්තවාදී ගැටුම් පවතින කාලයේ බොහෝ දෙනෙකු කොළඹ අනාරක්ෂිත යැයි කියමින් විදෙස්ගත වූ අයුරු අපි දනිමු. නමුත් මේ වෛරස ප‍්‍රහාරය හමුවේ ගුවන්ගත වීමටද නොහැකිය. වෛරසයෙන් පූර්ණ ආරක්ෂිත රටක් හෝ යම් ස්ථානයක් සළකුණු කර තිබේද? නැත. මේ මහ පොළොව මත නම් කිසිම තැනක්් නැත. වෛරසය මනුෂ්‍ය වර්ගයාට පාඩම් කියා දෙයි. මරණය තෝරන්නේ අප නොව ස්වභාවධර්මයා විසිනි. දියුණු මනුෂ්‍යා සිතුවේ අපට ස්වභාවධර්මය පාලනය කළ හැකි බව නොවේද? නමුත් ස්වභාවධර්මය පෙරලා පහර දෙන විට සැඟවෙන්නට තැනත් සොයා ගැනීමට ද අපහසුය.

 අවේලාවේ වීදි සංචාරය නොව නිසි අවශ්‍යතාවකින් තොරව නිවසින් එළියට බැසීම පවා භයානක වී ඇත. ඔබගේ ආරක්ෂාව ඔබේ පවුලේ උදවියගේ මෙන්ම සමාජයේ ආරක්ෂාව තහවුරු වේ. කොරෝනාව වැළඳී සුවය ලැබුණත් ලෙහෙසි නැති බව තරයේ මතක තබාගත යුතුය. මන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත්කර ඇති අන්දමට කොවිඞ් නිසා මතුවන පශ්චාත් රෝග ලක්ෂණ 200 ක් පමණ වේ. නිතර අමතකවීම, විඩාව, කාංසාව, මස් පිඬුවල වේදනාව ඒ අතර ප‍්‍රධානය. මේ ලක්ෂණයන් රෝගය සුවවි මාස තුනේ සිට නමය දක්වා කාලයක් පවතින බව සොයාගෙන තිබේ. සිහියෙන් කටයුතු කිරීම, නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් රෝගය වළක්වා ගත හැකිය. සිහිය අසිහිය බවට පත්වුවහොත් කොරෝනාවට බිලිවීම පමණක් නොව පසුකාලීනවද අසිහියෙන් ජීවත්වීමට සිදුවේ. ලෝකයේ සමහර රටවල් කොරෝනා ආසාදිතව සුව වූ නමුත් දීර්ඝ කාලීන පීඩාවිඳින රෝගීන් ආබාධිතයන් ලෙස සළකා ඔවුන්ට විශේෂ පහසුකම් ලබාදීමටත් තීරණය කර ඇත. බි‍්‍රතාන්‍ය මෙලෙස රෝගීන් වර්ග කිරීමකට ලක්කර ඇත. එම නිසා සිහියෙන් ජීවත්ව වෛරසය පරාජය කරනවා විනා අපට වෙන විකල්පයක් නැත. අසිහියෙන් ජීවත් වුවහොත් සිදුවන්නේ වෛරසයට අප පරාජය වීම පමණකි.

 සිහිය අසිහිය අතර ඇති වෙනස මේ වසංගතයෙන් හෝ හොඳින් අවබෝධ කර  ගැනීම වටී. කිසිවකුට දොස් නගා අපට කොරෝනාවෙන් ගැලවිය නොහැකිසේම රෝගයට බියවීම අනිවාර්යය. ඕනෑම ශක්ති වන්තයෙක් පෙරළා දැමීමට මේ වෛරසයට හැකි බව අප තරයේ අවබෝධ කරගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment