සීනි කෙළිය තිත්ත කතාවක්!

541

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 අගෝස්තු මාසයේ පැවැත්වූ මහා මැතිවරණය ජයග්‍රහණය කර සති කීපයකට පසුව සිදුකළ සීනි බදු වංචාව සම්බන්ධයෙන් අතිශය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එවකට වෙළෙඳ අමාත්‍ය ධුරය දැරූ බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී කළේය. ඒ 2023 අයවැය අවසන් වරට කියවීම වැඩි ඡන්ද 47 කින් දෙසැම්බර් 08 වන දින සම්මත වූවාට පසු දිනයේදීය.

වර්තමාන ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සීනි බදු වංචාව සම්බන්ධයෙන් ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් ලැබුණේ නැත. නමුත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාව බංකොළොත් වීමට කැබිනට් මණ්ඩලය දායක වූ හැටි අපූරුවට අවධාරණය කළ අවස්ථාවක් විය. ගුණවර්ධන අමාත්‍යවරයා පැවසූ වචනයෙන්ම කැබිනට් මණ්ඩලයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතුය.

“අපිට ඇයි මෙහෙම වුණේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව, රටට මොකද වුණේ, කවුද මේක කළේ කියලා, මමත් කියන්නේ ඔබතුමා (රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමතමින්) වගේ හොයන්න ඕනෑ කවුද ආර්ථික ඝාතකයා කියලා. ඇමැතිකම් දරපු අය විදියට බොරුවට අපි අල්ලන් ඉඳලා කිසි ප්‍රයෝජනයක් නැහැනේ. මේ නිලධාරීන් විසින් හදලා දෙන සංඛ්‍යා, ඉලක්කම් දත්ත ටිකක් අරගෙන ඒ දෙන එක අරගෙන ඇවිල්ලා ඇමැතිවරයා කියවනවා මිසක් ….”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙලෙස ගුණවර්ධන අමාත්‍යවරයාට බාධා කළේය.

“ආර්ථික විද්‍යාව ගැන දන්න එක්කෙනෙක් ඇමැති වෙලා හිටියනම් ඔබතුමා වගේ, මේ ප්‍රශ්නය වෙන්නේ නැහැ. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ඉන්නවා, ආර්ථිකය ගැන දන්නේ නැති කෙනෙක් ඇමැතිවෙලා ඉන්නවා. එක හින්දා තමයි මේක වුණේ. ආදායම කොච්චර අඩු කර ගත්තද? ඔබතුමාලා 94 ඉඳන් අවුරුදු 21 ක් රට පාලනය කළානේ.”

ගුණවර්ධන අමාත්‍යවරයා : “නෑ. ඔන්න ඕකනේ අපිට වැරදිලා තියෙන තැන. අපි හිතනවනේ ඇමැතිවරයකුට ඕනෑම තීන්දුවක් ගන්න පුළුවන් කියලා. එහෙම ගන්න බැහැ. බදු අඩුකරන අවස්ථාවේදී මම වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා. අභයාරාමය පන්සලේ ඉන්න අවස්ථාවේ ප්‍රවෘත්තිවලට කියන කොටයි දන්නේ සත විසිපහට සීනි බද්ද අඩු කළා කියලා. මම බරපතළ ලෙස කැබිනට් මණ්ඩලයේදී හැපුණා මෙම බද්ද සත විසිපහට අඩු කරපු එක වැරදියි කියලා. නමුත් ජනාධිපතිතුමාට මෙම උපදේශකයෝ කිව්වා හෙල්ලෙන්න එපා සර් මේක තමයි හරි දේ සත විසිපහේ බද්ද තියෙන්න ඕනෑ කියලා. එතුමා කැබිනට් මණ්ඩලයේ සිටියා (කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට උපදෙස් දෙයි). ඒ කාලේ පාස්කරලිංගම්ට.. එයා. ප්‍රේමදාස ජනාධිපතිතුමාද රට දිව්වේ. නැහැ. (කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට නැවතත් උපදෙස් දෙයි. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තගේ නම් සඳහන් කරයි). ඒ නිසා අපි මේ ඇත්ත රටේ ජනතාව දන්නෙත් නැහැ.”

සීනි බදු වංචාව සිදුවූ කාලයේ මුදල් අමාත්‍යධුරය දැරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. මුදල් ලේකම් එස්. ආර්. අටිගලය. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරය. මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ය. රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් ය. ගුණවර්ධන අමාත්‍යවරයා දෙසැම්බර් 09 වන දින නොපැවසූ කරුණක් මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ වෙළෙඳ අමාත්‍යවරයා අභයාරාමය පන්සලේ පැවැත්වූ බෝධි පූජාවකට සභාභාගි වෙමින් සිටින එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණීමයි.

තතු දත් ආරංචි මාර්ග අනුව, ගුණවර්ධන අමාත්‍යවරයා රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගෙන් සීනි බදු අදහාගත නොහැකි ලෙස පහත හෙළීම සම්බන්ධයෙන් විමසා ඇත. තමන් එම තීරණය සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. වෙළෙඳ අමාත්‍යවරයාගේ අණ පරිදි ඔහුගේ නිලධාරියකු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසා ඇත. ඔහු එම තොරතුර සනාථ කර ඇත. ගුණවර්ධන සීනි බදු රහස වසර දෙකකට පසුව හෙළි කළේ ඇයි? ඇත්තවශයෙන්ම අමාත්‍යවරයා ලැජ්ජා විය යුතුය. බොහෝ ඇමැතිවරුන්ට ලැජ්ජාවක් නැත. එය වෙනමම කාරණාවකි.

වර්තමාන රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ අවධානය තම සහෝදර අමාත්‍යවරයාගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් යොමුවිය යුතුය. ඒ වගකීමෙන් ඔහුට ගැලවිය නොහැක.

ගුණවර්ධන අමාත්‍යවරයා දෙසැම්බර් 09 දින හෙළි කළ කැබිනට් රහස විමසා බැලිය යුතු වන්නේ සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා ඊට හරියටම මාසයකට පෙර සීනි බදු වංචාව සම්බන්ධයෙන් මැති සබයේදීම කළ ප්‍රකාශයකටද අවධානය යොමු කරමිනි.

ඒ මහා බදු වංචාවට අදාළ ඔක්තෝබර් 13, 2020 නිකුත් කළ ගැසට් පත්‍රය මුදල් අමාත්‍යාංශය නිකුත් කළ බව රහසක් නොවේ. එම ගැසට් පත්‍රය හේතුවෙන් පාරිභෝගිකයාට කිසිදු යහපතක් සිදු නොවූ බව එවකට රාජ්‍ය මුදල් කොමිසමේ සභාපති අනුර ප්‍රියදර්ශන එම කොමිසමේදී පැවසූ බව ගුණවර්ධන අමාත්‍යවරයා නොදැන සිටිය නොහැක. මුදල් කොමිසමේ සභාපතිවරයා සීනි බදු වංචාවට පහර ගසන විට ගුණවර්ධන අමාත්‍යවරයා නිශ්ශබ්දව සිටියේ ඇයි?

සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි සීනි බදු වංචාව හේතුවෙන් මහා භාණ්ඩාගාරයට අහිමි වූ මුදල රුපියල් බිලියන 16 කි. එම මුදලින් ආදායම් බදු ලෙස 30% නැවත අය කරගැනීමට කටයුතු කරන අතර නැවත තනි පුද්ගලයකුට මෙවැනි තීන්දු ගැනීමට ඇති අවස්ථාව අහුරන බවට ද ශ්‍රීලනිප කැරලිකරුවා අවධාරණය කළේය. එම අයුතු ලාභය රඳවා ගත් සමාගම් 10 හඳුනාගත් අතර එම කණ්ඩායමෙන් එක ආයතනයක් අදාළ කාලය තුළ කළ සමස්ත සීනි ආනයනයෙන් 45% කර ඇති බවද අනාවරණය විය. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිසිදු රටක මෙවැනි තත්ත්වයක් තිබිය නොහැක. රුපියල් බිලියන 16 ක් මහා භාණ්ඩාගාරයට අහිමි වූ බව ප්‍රත්‍යක්ෂ නම් එයින් 30% පමණක් අය කර ගැනීමේ ක්‍රමවේදය සාධාරණීකරණය කළ හැකිද?

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය දැන්වත් මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවීමට හේතු වූ කරුණු කාරණා විමර්ශනයට ලක් කළ යුතුය. තම තමන්ගෙන් ක්‍රියාකලාපය වර්තමාන තත්ත්වය ඇතිවීමට හේතු වූවාදැයි විමසා බැලිය යුතුය. සීනි බදු වංචාව සම්බන්ධයෙන් විධායකයට (කැබිනට් මණ්ඩලයේ නායකත්වය හිමි ජනාධිපතිවරයාටයි) සහ විධායකය පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන අමාත්‍යවරුන්ට තිබෙන සාමුහික වගකීම කුමක්ද? ගුණවර්ධන අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකයන්ට වරද පැටවුවත්, තමන්ට අමාත්‍යවරයෙක් ලෙස තිබෙන වගකීම සහ වගවීම අහෝසි වන්නේ නැත.

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් හේතුවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 16 ක් අහිමි වීම අමාත්‍යවරුන් තිදෙනකු එම කැබිනට් මණ්ඩලයටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම සමග විමසා බැලිය යුතුය. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල රටේ ඉහළම අධිකරණයේ පිහිට පැතුවේ කැබිනට් මණ්ඩලය වංචාසහගත ලෙස රහසින් ඇමෙරිකානු සමාගමක් (නිව් ෆොර්ට්‍රස් එන්ර්ජි) සමඟ 2021 සැප්තැම්බර් 17 දින රාත්‍රියේ මහා භාණ්ඩාගාරයට සතු 40% කෙරවලපිටිය බලාගාරයේ කොටස් පැවරීමට එරෙහිවය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට කැබිනට් මණ්ඩලයට එරෙහිව අමාත්‍යවරු අධිකරණයට කරුණු දැක්වීම දේශපාලනය නව මාවතකට යොමු කළේය. නමුත් වාසු, විමල් සහ උදය සමඟ සිට ගැනීමට අනෙකුත් අමාත්‍යවරුන්ට ශක්තියක් නොවීය. ආර්ථිකය බිංදුවටම වැටීම හේතුවෙන් ප්‍රකෝපවූ ජනතාව ජනාධිපතිවරයාව පලවාහරින තුරුම අනෙකුත් අමාත්‍යවරු රැඳී සිටීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

එජාප නායක ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැයි 12 වන දින අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉන් පසුව මුදල් අමාත්‍ය ධුරයද පිරිනැමිණි. ඒ මැයි 25 දිනය. අමාත්‍යවරු තව දුරටත් රැඳී සිටියහ. ඔවුන්ට දෙලොව රත්වූයේ වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමත් සමඟය. පොහොට්ටු කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ගුණවර්ධන අමාත්‍යවරයා කළ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ අවධානයට ලක් විය යුතුය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ගුණවර්ධන අමාත්‍යවරයාට පැමිණිලි නොමැතිද? නැතහොත් ගුණවර්ධන අමාත්‍යවරයා දැනට නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරනවාද ?

ගුණවර්ධන අමාත්‍යවරයා ද සිටිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දැරූ කැබිනට් මණ්ඩලය කිසිදු වග විභාගයකින් තොරව 2021 අප්‍රේල් මාසයේ දී ක්‍රියාත්මක කළ පොහොර තහනම කෘෂිකර්මාන්තය විනාශ කළේය. පොහොර තහනම ක්‍රියාත්මක කළේ ජනතාවට වස විස නොමැති ආහාර වේලක් යන තේමාව යටතේය. නමුත් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි එවකට රජය පොහොර තහනම ක්‍රියාත්මක කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300-400 පමණවූ පොහොර ආනයන බිල නැතිකර දැමීමට යන චෝදනාව බැහැර කළ නොහැක.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය විශ්‍රාමික රෝහිණි මාරසිංහ විනිසුරුවරිය එවකට ආණ්ඩුව ශ්‍රී ලංකාව බංකොළොත් කළ ආකාරය ජිනීවාහිදී අපූරුවට අවධාරණය කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පොරොන්දු වූ ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජනාධිපති කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළහොත් කැබිනට් තීන්දු තීරණ සමාලෝචනය කළ හැක. ගුණවර්ධන අමාත්‍යවරයාට සීනි බදු වංචාව ක්‍රියාත්මක කළ පුද්ගලයා/ පුද්ගලයන් නම් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය. ගුණවර්ධන අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍යධුරය දැරූ සමයේ සතොස ක්‍රියාත්මක කළ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන්ද සොයා බැලිය හැක. ඒ වරායේ රඳවා ගෙන සිටි සුදු ලූනු තොග වෙළෙඳපොළට වහාම නිකුත් කිරීමට ගත් කැබිනට් තීරණක් අවභාවිතා කළ බැවිනි. නිවැරදි කැබිනට් තීරණ කීපයක් ස්ථිර වශයෙන්ම හඳුනා ගැනීම ඇත්ත වශයෙන්ම අභියෝගයක් වනු ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ගුණවර්ධන අමාත්‍යවරයාට දෙසැම්බර් 09දින පාර්ලිමේන්තුවේදී දුන් උපදෙස් අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකයන් ක්‍රියා කළේ ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ (එජාප ආණ්ඩු සමයේ ප්‍රබල නිලධාරීන්) කටයුතු කළ ආකාරයටද යන ප්‍රශ්නය නැඟේ. කෙසේ වෙතත් කවුරු කුමන ආකාරයට මැදිහත්වීම් කළත්, ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය ගනු ලබන තීන්දු තීරණවලට සාමුහිකව සියලුම අමාත්‍යවරු වගවිය යුතුය. වගකිව යුතුය.

ව්‍යවස්ථානුකූලව අමාත්‍යවරු 30 ක් සහ කැබිනට් නොවන අමාත්‍යවරු 40 පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එම පත්වීම මහජන නියෝජිතයන් අතර බෙදීයන ආකාරය ආන්දෝලනාත්මකය. කැබිනට් අමාත්‍ය තනතුරු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීම සමස්ත දූෂිත දේශපාලන ක්‍රියාවලියේම කොටසකි. කවුරු බලයේ සිටියත් එම තත්ත්වයේ වෙනසක් නොමැත. පාර්ලිමේන්තුව තුළ අමාත්‍යවරු විධායකය නියෝජනය කරන සහ විධායකය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජනතාවට වගකියන පාලනයක් බලාපොරොත්තු වීම මිරිඟුවක් පසුපස යෑමකි.

දුසිං ගණනින් ගැසට් හැරවුව ශ්‍රී ලංකාවේ සීනි බදු වංචාව කිරීමට ඉවහල්වූ 2020 ඔක්තෝබර් මාසයේ 13 වන දින මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් පත්‍රය දිගටම ක්‍රියාත්මක වූයේ ඒ දූෂිත ක්‍රමය ආරක්ෂා කිරීමට ආණ්ඩුව බැඳී සිටින බැවිනි. දේශපාලන අධිකාරියේ නියෝගය මත එවකට මුදල් ලේකම් එස්. ආර්. ආටිගල 2021 මාර්තු 12 වැනිදා කැඳවූ මාධ්‍ය හමුවකදී සුදු සීනි කිලෝවකට පැනවූ රුපියල් 50 හේ බද්ද රුපියල් 49.75 කින් අඩු කිරීමෙන් මහා භාණ්ඩාගාරයට කිසිදු පාඩුවක් සිදු නොවූ බවට කළ ප්‍රකාශය රාජ්‍ය සේවයේ සැබෑ තත්ත්වය පිළිබිඹු කරන කැඩපතකි.

ව්‍යවස්ථානුකූලව මහජන මුදල් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ලිමේන්තුව තවදුරටත් තම මූලික වගකීම් (මූල්‍ය පාලනය සහ නීති සම්පාදනය) පැහැරහරිමින් සිටී. විගණකාධිපතිවරයා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා කුණු කූඩයට දැමීම (නීතිපතිවරයාට යොමු නොකිරීම) සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අඩු වැඩි වශයෙන් ආර්ථිකයට කළ /කරමින් පවතින විනාශය බංකොළොත් ශ්‍රී ලංකාවට දැරිය නොහැක.

නමුත් ආර්ථිකය සාමුහිකව කාබාසිනියා කළ දේශපාලන පක්ෂ, එම පක්ෂවල නායකයන් ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිති.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment