සීනි නිෂ්පාදනය 2.1%කින් පහතට

137

මෙරට සීනි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 2.1කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

2021 වර්ෂයේ දී මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 80555කි. එහෙත් 2022 වර්ෂයේ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 78,857ක් දක්වා පහත වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙරට සීනි නිෂ්පාදනය 2019 වසරේ සිට අඛණ්ඩව ඉහළයෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කළ ද උක් වගාව සඳහා දේශීය වශයෙන් පැවැති පොහොර හිඟය නිසා සීනි කර්මාන්තය මුහුණදුන් අවහිරතා හේතුවෙන් 2022 වර්ෂයේ දී සීනි නිෂ්පාදනය පහළ ගොස් ඇත.

ඉකුත් වර්ෂයේ දී සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්තශාලාවල නිෂ්පාදනය පිළිවෙළින් සියයට 29.0කින් හා සියයට 20.6කින් පහළ ගොස් ඇත. කෙසේවුවද ගල්ඔය හා ඇතිමලේ කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනය පිළිවෙළින් සියයට 27.4කින් හා සියයට 36.2කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. මෙරට සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරා ගන්නා අතර ඉතිරි අවශ්‍යතාව ආනයනය කිරීම මගින් සපුරාගන්නා බව ද මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment