සීනි පෝලිම්වල ජනදුක… – පැය දෙකක් පෝලිමේ සිටියත් ලැබුණේ සීනි කිලෝවයි

134

* කොවිඞ් අවදානම මැද සීනි ගන්නත් අතුරේ යන්න වෙලා

* හැම කෙනාම මේවට වගකියන්න ඕනෑ

රටේ සීනි හිඟයක් ඇති වීමත් සමඟ ජනතාව දැඩි අසීරුතාවට පත්වී ඇත. කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නොයෙක් ප‍්‍රදේශවල ඇඳිරිනීතිය පනවා ඇති සමයේ වුවත් මංමාවත්වල ගමන් කරන අයුරු දක්නට ලැබේ.

ව්‍යාපාරිකයන් ගබඩාවල සඟවා තිබූ සීනි තොග මිලදී ගෙන සතොස සහ සමුපකාර වෙත බාරදී සීනි හිඟය දුරු කිරීමට කටයුතු කර තිබෙන අවස්ථාවක ඒවා මිලදී ගැනීම සඳහා ජනතාව පැමිණ සිටිති. ඒ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ජනතාව දැක්වූ අදහස් මෙසේය.

කොටහේන ලෝගනාදන් මහතා – අපි ස්ථිර ආදායමක් නැති එදිනෙදා කුලී වැඩක් කරලා කීයක්හරි හොයාගෙන ජීවත් වූ මිනිස්සු. මේ දිනවල සීනි හිඟය සහ මිල ඉහළ යෑම නිසා සීනි මිලදී ගන්න තමයි මේ පෝලිමේ රැුඳී සිටින්නෙ. පැය දෙකක් පෝලිමේ ඉඳලත් සීනි කිලෝවක් තමයි දෙන්නේ. මොනව කරන්නද අපි පොඩි මිනිස්සුනේ. මේක ඉවර වුණාම ආයෙත් සීනි කිලෝ එකක් ගන්න එන්න සිද්ධ වෙනවා.

ආදුරුප්පුවීදියේ මොහොමඞ් ලෙබ්බේ මහතා – අපි බොහොම අමාරුවෙන් ජිවත්වන මිනිස්සු. කොවිඞ් වසංගතය හමුවේ අපේ ඥාතීන් කිහිපදෙනෙක් රෝගයට ගොදුරු වෙලා. ඒ අයටත් එක්ක සීනි ගෙනියන්නයි ආවේ. සතොසෙ දෙන්නේ සීනි කිලෝ එකයි. මේක ගෙනිහින් නැවත කා එක්කහරි තව සීනි කිලෝ දෙකක් ගන්න එන්න ඕන. මේ පෝලිම්වල ඉඳලා කොවිඞ් හැදෙයිද කියලත් බයයි. කරන්න දෙයක් නැහැ. සීනි අවශ්‍යම නිසයි මේ ගෙනියන්න ආවේ.

කොටහේන ගුණානන්ද මාවතේ මෝසස් සිල්වා මහතා – පැය දෙකක් විතර පෝලිමේ ඉඳලයි සීනි කිලෝ එක ගත්තේ. අපේ රට නිදහස ලබපු 1948 ඉඳලම පත්වෙච්ච නායකයන්ගෙන් රටට නිසි සේවයක් නොලැබුණු නිසයි රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. කවුරුත් බලයට එන්න පෙර පොරොන්දු දෙනවා. බලයට ආවාම ඒ පොරොන්දු අමතක වෙනවා. කවුරු පත්වුණත් ඔය ටිකමයි. මේවා අහලා කියලා දැන් අපිටත් එපා වෙලා. මේවාට විසඳුම් දෙන්න පුළුවන් නායකයෙක් පේනතෙක්මානෙක නැහැ. ජනතාව හැමදාම කබලෙන් ලිපට වැටෙනවා. මේක අපේ සහ දරුවන්ගේ කරුමෙ මහත්තයො.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment