සීනි බදු අඩු කිරීමෙන් එක් ආයතනයක් සුවිශාල අනියම් ලාභයක් ලැබුවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

189

බදු හා පොලී අනුපාත වැඩි කිරීමෙන් ජන ජීවිතය විනාශ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආර්ථිකය හැකිලෙද්දී බදු වැඩිකිරීමෙන් ඉතිරි ටිකත් විනාශ වෙනවා- බී. වයි. පී. රත්සේකර (ශ්‍රීලපොපෙ)

නිසි ක්‍රමවේදයක් නැති නිසාආර්ථික අර්බුදය ඇතිවුණා – අනුර ප්‍රියදර්ශන යාපා (ශ්‍රීලනිප)

ආණ්ඩුව සුරාබදු කෝටි 513 ක් අයකරගෙන නෑවිජිත හේරත් (ජා. ජ.බ)

සීනි බදු අඩු කිරීම මගින් එක් ආයතනයක් සුවිශාල වශයෙන් අනියම් ලාභයක් ලබා තිබෙන බවත් එය එම සමාගමට ලොතරැයියක් ඇදුනා වාගේ යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් ලිපි ලේඛන, වාර්තා, මහජන පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 27-2 යටතේ පක්ෂ නායකයන් විසින් අසා තිබූ විශේෂ ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

අනතුරුව එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥා පනත යටතේ නියෝග, මුදල් පනත යටතේ නියෝග, විදේශ විනිමය පනත යටතේ නියෝග, ආනයන හා අපනයන පාලන යටතේ නියෝග සහ රෙගුලාසි යන යෝජනා 07ක් සම්බන්ධයෙන් විවාදය ඉන්පසුව ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා :

අපි එකතු කළ අගය මත පසුගිය කාලයේ බදු වැඩි කළා. ඒ වගේම සුරාබදු මත නියෝග දෙකක් අද අපි ඉදිරිපත් කළා. රා ලීටරයක බදු මුදල් අඩු කළත් ඒ සහනය පාරිභෝගිකයාට ගියේ නෑ. ඒ නිසා අපි එය නැවත වැඩි කළා. ඒ වගේම විෂබීජ නාශක දියර සඳහා බද්ද කොවිඩ් සමයේ අපි අඩු කළා. නැවත එය වැඩි කරමින් බිලියන 1.6ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රත්මලාන ගුවන් තොටුපළ දියුණු කිරීම සඳහා බදු අඩු කළා. ඒ සම්බන්ධයෙන් අද නියෝගය පාර්ලිමේන්තුවට ගේනවා. ඒ වගේම අපි විවිධ ආහාර වර්ග කිහිපයක් මෙරටට ගෙන්වීමට අවසරය ලබා දුන්නා. ඒවා අද සම්මත කර

ගැනීමට බලාපොරොත්තු වෙනවා.

විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ තමයි ඒ බදු අඩු කිරීම කර තිබුනේ. රජය සීනි කිලෝවක් සඳහා තිබුණු රුපියල් 50ක බදු මුදල සත 25ක් දක්වා අඩු කරනු ලැබුවා. ලොකු ලූනු කිලෝවක් සඳහාත් ඒ ආකාරයටම අඩු කළා. සැමන් ටින් එකක බදු මුදලත් රුපියල් 50 කින් අඩු කළා. පරිප්පු කිලෝවක් රුපියල් 10 කින් අඩු කළා. ඒ ප්‍රතිපත්ති සම්පාදකයන් පෙන්වා දුන්නේ මේ අඩු කිරීම තුළින් පාරිභෝගිකයන්ගේ සාමාන්‍ය මාසික වියදම රුපියල් 500 කින් අඩු කළ හැකි බවයි. ඒත් සීනි මිල අඩු වුණේ නෑ. ඒ නිසා පාරිභෝගික අධිකාරිය සීනි සඳහා පාලන මිලක් ඇති කළා. ඒත් සීනි මිල අඩු වුණේ නෑ. මේ නිසා මේක විශේෂයෙන් සමාජ ආන්දෝලනයට ලක්වුණා. ඒ නිසා රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විගණකාධිපති වාර්තාවක් කැඳවනු ලැබුවා. ඒ වාර්තාවෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් එළියට ආවා.

අනුර ප්‍රියදර්ෂන යාපා මහතා :

මුලින්ම මේක මුදල් කාරක සභාවට ඇවිල්ලා ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම වාර්තාවක් ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යංශයයි. අපි තමයි ඊට පස්සේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට යොමු කළේ.

රංජිත් සියඹලාපිටිය මහතා :

ඒ විගණකාධිපති වාර්තාවෙන් කියා තිබෙනවා. මේ වෙනුවෙන් රජය කැප කළ බදු ආදායම රුපියල් කෝටි 1676ක් සහ එකොළොස් ලක්ෂ තිස්දහස් පනහක් කියලා, සරලව කිව්වොත් බිලියන 16ක්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

සිනි ආනයනයෙන් වුනු පාඩුව අයකර ගන්න ක්‍රියා කරනවාද?

රංජිත් සියඹලාපිටිය මහතා :

අහගෙන ඉන්න මම කියන්නම්. මෙහි පිරමිඩ් විල්මා ආයතනය සීනි ආනයනය කරන ප්‍රමාණය ඔවුන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1222 ගුණයකින් වැඩි කර ආනයනය කර තිබෙනවා. මේවා ගැන අවධානය දැක්විය යුතුයි.

මේ ගැන මම අවධානය යොමු කළා. අපි බදු වැඩි කරන සමයක මම ලිඛිතව බදු කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළා. රජය කැප කළ ඒ බදු මුදල නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් දින 10ක් ඇතුළත දෙන්න කියලා. එතුමා මට ඒ වාර්තාව ලබා දුන්නා. ඒ වාර්තාව මම මේ සභාවට ඉදිරිපත් කරන්නම්, මේ බදු අඩු කළ කාලය තුළ මම මීට පෙර සඳහන් කළ ආයකනය සීනි මෙටි්‍රක් ටොන් 125207ක් ආනයනය කර තිබෙනවා. මේ සිද්ධියට අදාළව සීනි තොග සියයට 45ක්ම එම ආයතනය තමයි ආනයනය කර තිබෙන්නේ. ඒ නිසා රජය කැප කළ බදු ආදායමෙන් බිලියන 06කට වැඩි ප්‍රමාණයක් එම ආයතනය වෙත ගොස් තිබෙනවා. මේ ආයතනය සුවිශාල අනියම් ලාභයක් ලබා තිබෙනවා. ඒක ලොතරැයියක් ඇදුනා වාගේ ඒ නිසා මෙම බදු මුදල් නැවත අය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

දැන් හතළිස් ලක්ෂයක් ජීවත් වෙන්න සහන ඉල්ලනවා. අපි සමාජ සුබ සාධනයට මුදල් වැඩි කර තිබෙනවා. ඒ සඳහා මුදල් සොයා ගන්න වෙන්නේ බදු මුදල් වැඩියෙන් අය කර

ගැනීමෙන්ම තමයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) :

ඇමැතිතුමා කිව්වා. ලොතරැයියක් ඇදුනා වාගේ කියලා. එහෙම වුනේ කලින් අංක ටික දැන ගත්තා. දෙයියෝ ඇවිත් කලින් අංක ටික දුන්නා. කොහොමද ඒවා ගියේ. මුදල් කාරක සභාවටවත් ඇවිත් නෑ. ඒත් ඒ සියළු කාරණා දැනගෙන තිබෙනවා. බදු වෙනස් කරන්නේ කොහොමද ඇතුළු කාරණා සියල්ල තිබෙනවා. මම ඒ සියළු කාරණා කියවන්නේ නෑ දැන්.

දැන් බලන්න අපේ රටේ වියදම මේ අවුරුද්දේ වැඩි වෙනවා. නමුත් ආදායම කීයද රටේ. බදු වැඩි කරන්න ඕන තමයි නමුත් සාධාරණ වෙන්න ඕන. බදු වංචා වෙන්න බෑ. සුදුලූනු වංචාව, පොල්තෙල් වංචාව තිබුණා. ඒවාත් අයකර ගන්නවා නම් මේ විදිහට බදු වැඩි කරන්න ඕනද? දැන් බලන්න අපේ රටේ දුප්පත්කම සීග්‍රයෙන් ඉහළ ගිහින්. දුප්පත්කම ලක්ෂ 30 සිට 96 දක්වා වැඩි වෙලා. දැන් බලන්න ලක්ෂ කීයක් ජීවත් වෙන්න සහන ඉල්ලනවාද කියලා. මෙහෙම දුප්පත්කම වැඩි වෙලා තිබෙන්නේ මොන රටේද? බදු වැඩිකිරීමේදී අද පමණක් නොවෙයි හෙට ගැනත් සිතන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

බංකොලොත්භාවයට පත්වූ රට ඉන් ගොඩ එන්න අයි. එම්. එෆ් එක පාලමක් බව රජය පිළිඅරගෙන තිබෙනවා. ඔවුන් සමඟ ඇති එකඟතාව එළියට දාන්නේ නැත්තේ ඇයි? මිනිසුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි? බදු ගහනවිට ජනපති කියනවා මේවා කරන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුවයි කියලා. විදුලි බිල, ගෑස්, පිටි, ආහාර, බඩුමිල වැඩිවෙන්නේ මූල්‍ය අරමුදල් නිසාද?

මේ රට බංකොලොත් කළේ සෞභාග්‍යයේ දැක්මයි. මේකට විසඳුම ආර්ථිකය හැකිලීම බව ඔවුන් කියනවා. බදු වැඩි කරලා පොලී අනුපාත වැඩි කරලා ජන ජීවිතය විනාශවෙලා. මේ ආණ්ඩුවට මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නැද්ද? ඒ තරම් දරදඬුයි. බැසිල් රාජපක්ෂගේ නියෝග මත රාජ්‍ය ඇමැතිවරු 38 ක් පත් කළා. රටේ බදු ගහලා ජනතාවට හකුලා ගන්න කියලා ආණ්ඩුව ප්‍රසාරණය වෙනවා.

දරුවො පංතිවල ක්ලාන්තය දාලා වැටෙනවා. ආණ්ඩුවට කිසිම අනුකම්පාවක් නැහැ. අද විපක්ෂය බිලිබා ගන්න යනවා. ඇමැතිකම්වලට රටේ වගකීම භාර ගන්නේ ඩොලර් මිලියන 4 ක් තියනවා කියලා. කෝ ඒ මුදල්.

රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ:

ආර්ථිකය අසිරු වෙලාවේ එය නැගිට්ටවන්න කටයුතු කරන විට ප්‍රශ්න මතු වෙනවා. ඒවා විසඳගෙන ඉදිරි පියවර ගත යුතුයි. අපි අසුභවාදීව බැලිය යුතු නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ) –

රටක් ගෙන යෑමට විදේශ විනිමය අත්‍යවශ්‍යයි. අපනයනයෙන් ලැබෙන ප්‍රමාණයට අමතරව සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශ ප්‍රේෂණවලින් ඩොලර් ලැබෙනවා. කොවිඩ් නිසා වසර දෙකක් විදේශ ප්‍රේෂණ ලැබුණෙ නැහැ. තිබුණ සංචිතයෙන් එන්නත් ගත්තා. මේ රජය ණය ගත්තේ නැහැ. එනිසා ඩොලර් අඩුවීම සිදුවෙනවා. ආර්ථික යුද්ධය ජයගන්න ජනතාවගේ සහාය ගන්නේ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා:

ආර්ථික අර්බුදය ඇතිවුණේ නිසි ක්‍රමවේදයක් නැති නිසයි. අවශ්‍ය නිලධාරීන් අවශ්‍ය තැන්වලට යෙදවූයේ නැහැ. මුදල් අමාත්‍යාංශය අවශ්‍ය වෙලාවට නිසි පියවරයන් ගත්තේ නෑ.

මේ ප්‍රශ්න හංගන්නෙ නැතිව විවෘතව කථා කළ යුතුයි. ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආණ්ඩුවත්, විපක්ෂයත් එකතුවී ක්‍රියා කිරීමෙන් පමණයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

අපේ රටට ආවේණික ආර්ථික රටාවක් අවශ්‍යයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ)

විපක්ෂයක් ලෙස අපි වගකීමෙන් ආණ්ඩුව

ගන්නා තීරණවලදි වැරදි පෙන්වා දුන්නා. බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරු ලෙස සිටියදී රටේ මේ ප්‍රශ්න ඇති වන බව දිගින් දිගටම පෙන්වා දුන්නා. ඒ නිසා විපක්ෂයට ඇඟිල්ල දිගු කර වැඩක් නැහැ.

අද තත්ත්වය නිසා ලක්ෂ 220 – ජනතාව දුක් විඳිනවා. ආර්ථිකය වට්ටපු අයට එරෙහිව ක්‍රියා කරන්න අවශ්‍යයි. පවුල් සියයට 73 ක ආදායම වැටී ජීවත්වීම අසීරු වෙලා. ලක්ෂ 57 කට මානුෂීය ආධාර අවශ්‍යයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ).

බොරතෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ ගණන් ගෙවනවා. විදෙස් පුහුණුව ලබන වෛiවරුන්ට ඩොලර් 200 ක් ගෙවන එක නවත්වලා. මෙවර අයවැයෙන් ඉන්ධනවලට බද්දක් ගහන්න යනවා. ඒ මගින් ඉන්ධන මිල වැඩි වෙනවා. ජනාධිපතිවරයා කලින්ම කිව්වා ජනවාරි වලින් පස්සේ ඉන්ධන මිල වැඩිවේවි කියලා. ජනතාව තවත් අසීරුවට පත්වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී. වයි. ජී. රත්නසේකර (ශ්‍රීලපොප)

අපනයන සමාගම්වලින් වැඩිපුර බදු පැනවුවොත් ඔවුන් කඩා වැටෙනවා. ්වෙන රටවල මේ අංශයේ බදු අනුපාත ඉතා අඩු මට්ටමක තියෙන්නේ. රටට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නෑ. ව්‍යාපාරිකයකුට සැලසුම් සහගතව ආයෝජනයකට රටට එන්න බැහැ. ආර්ථිකය හැකිලෙන විට බදු ආදායම අඩු වෙනවා. 2019 දී බදු අඩු කිරීම සම්පූර්ණ වැරදි තීරණයක්. මම ඒක මුදල් ඇමැතිට කිව්වා. කොවිඩ් ව්‍යසනය හමුවේ ආර්ථිකය ශක්තිමත් නොවන බව දැන දැනම බදු සහන දීම වැරදියි. දැන් ආර්ථිකය හැකිලී ඇති අවස්ථාවක බදු අනුපාත වැඩි කිරීමෙන් ආර්ථිකයේ ඉතිරි ටිකත් විනාශ වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ)

අපනයනයට සියයට 30 ක බද්දක් දැම්මාම ඔවුන් ආදායම රටට ගෙන එන්නෙ නැහැ. පිටරටවල තැන්පත් කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

බදු පිට බදු එන්නේ මුල්‍ය අරමුදල් කොන්දේසි අනුවයි. ඔය එකඟතාව පාර්ලිමේන්තුවට දාන්න. ආණ්ඩුව කොන්දේසි වහාම රටට හෙළි කරන්න. සුරාබදු අය කරගත යුතු මුදල රුපියල් කෝටි 513 ක් ආයතන 11 ක් ගෙවලා නෑ. මෙයින් කෝටි 200 ක් විතර ගෙවලා නැත්තේ අර්ජුන් ඇලෝසියස් සමාගම්. ආණ්ඩුවේ අයට ලැජ්ජා නැද්ද?

පාර්ලිමේන්තුව අද 10 දා පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment