සීනි බදු ඉවත් කිරීමෙන් සමාගම විශාල ලාභ ලැබුවත් ජනතාවට කිසිම සහනයක් දී නැහැ

562

රජයට සිදුවූ පාඩුව සමාගම්වලින් වහාම අයකර ගත යුතුයි
 
 ජාතික විගණන කාර්යාලය


 රජය විසින් ඉවත් කරන ලද සීනි බද්ද හේතුවෙන් විශාල ලෙස ලාභ උපයා ගත් පිරමීඞ් විල්මා ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම එම බදු සහනයේ වාසිය කිසිදු ආකාරයකින් ජනතාවට ලබා දී නැතැයි ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

 සීනි බද්ද අඩු කිරීමෙන් පසු එම සමාගම වෙනදාට වඩා සියයට එක්දාස් දෙසිය විසි දෙකක සීනි තොගයක් මෙරටට ආනයනය කර ඇත. ජාතික විගණන කොමිසම සඳහන් කරන පරිදි සීනි බදු අඩු කිරීම මගින් රජයට සිදුවූ පාඩුව අදාළ සමාගම්වලින් වහාම අයකර ගත යුතුය.

 සීනි ආනයන බද්ද අඩු කිරීම මගින් රජයට රුපියල් බිලියන 15.951 ක් අහිමි වූ බවත් එමගින් සීනි මිල අඩු නොවූ බවත් මුදල් ආමාත්‍යාංශය පසුගියදා පිළිගත්තේය. සීනි ආනයන බදු අඩු කිරීමේදී එවකට ජනාධිපති ලේකම්වරයාව සිටි පී. බී. ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් අනුව මුදල් අමාත්‍යංශයට කටයුතු කිරීමට සිදුවූ බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත. ජාතික විගණන කාර්යාලය සඳහන් කරන පරිදි සීනි ආනයන බදු අඩු කිරීම මගින් ජනතාවට සීනි අඩු මිලට ලබා දීම රජයේ අපේක්ෂාව වූ නමුදු එම ක‍්‍රියාවලිය හරහා සීනි ආනයනකරුවන් සිදුකර ඇත්තේ ස්වකීය ලාභය තරකර ගැනීම පමණි. බදු අඩු කිරීමෙන් පසු සීනි මිල කිසිදු ආකාරයකින් පහත නොගිය බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කර තිබේ. 2020 ඔක්තෝබර් 14 වැනිදා මුදල් අමාත්‍යාංශය මගින් සීනි ආනයන බද්ද අඩු කරන ලදී. ඒ දිනය වනතෙක් සීනි ආනයන බද්ද සීනි කිලෝවකට රුපියල් 50 ක් වූ නමුත් බදු අඩු කිරීමෙන් පසු එම බදු මුදල සත 25 දක්වා අඩුවිය. 2021 පෙබරවාරි මාසය වන විට මේ හේතුවෙන් රුපියල් බිලියන 16.763 ක බදු ආදායම් රජයට අහිමි විය.

 බදු අඩු කිරීමෙන් පසු පිරමීඞ් විල්මා සමාගම විසින් සුදු සීනි ටොන් එක්ලක්ෂ 25000 ක් මෙරටට ගෙන්වන ලදී. මෙය ලංකාවේ සීනි ආනයනකරුවන් එම කාලය තුළ ගෙන්වන ලද සීනි තොගවලින් 45% කට සමානය. එය පිරමීඞ් විල්මා සමාගම ගෙන්වන සීනි තොගවල ප‍්‍රමාණය 1222% ක ප‍්‍රතිශතයකින් ඉහළ යෑමකි. මේ මගින් පිරමීඞ් විල්මා සමාගම රුපියල් බිලියන 6.22 ක ලාභයක් ලබා ඇත. ශ‍්‍රී ලංකාව තුළ සීනි ආනයනකරුවෝ 9 දෙනෙක් ප‍්‍රධාන වශයෙන් මෙහෙයුම් සිදු කරති.

 ශ‍්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 50000 කි. මෙයට සුදු සීනි සහ රතු සීනි ඇතුළත්ය. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය සීනි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 4359 කි. රටට අවශ්‍ය ඉතිරි සීනි ටොන් 45000 පිටරටින් ගෙන්වා ගනු ලැබේ. වසර 2020 නොවැම්බර් මාසය වනවිට සීනි කිලෝවක මිල පැකට් කළ කිලෝවක් රුපියල් 90 ක් ද පැකට් නොකළ තොග වශයෙන් ගන්නා සීනි කිලෝවක් රුපියල් 85 බැගින්ද විය.

advertistmentadvertistment
advertistmentadvertistment