සීනි බදු මගඩියේ සතොස පාඩුව කෝටි 10 පනියි: විගණන වාර්තාවෙන් හෙළිවෙයි

229

සීනි ආනයනය කිරීම සඳහා පැවති වෙළෙඳ භාණ්ඩ බදු මුදල ශත 25 දක්වා අඩුකොට තිබියදී වැඩි මිලට සීනි මිලදී ගැනීම හා පාලන මිල පැනවීම නිසා සීනි අලෙවි කිරීමෙන් ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි දහයකට අධික (රුපියල් 102,113,974) පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

සීනි සඳහා බදු අඩුකරන අවස්ථාව වනවිට සතොස සතුව සීනි මෙටි‍්‍රක්ටොන් 919.4ක තොගයක් තිබී ඇත. එම සීනි තොගය කිලෝග‍්‍රෑම් 01ක් සඳහා රුපියල් 125.41ක මිලක් ගෙවා මිලදීගෙන තිබුණි. එම සීනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරීම නිසා සතොසට රුපියල් තුන්කෝටි හැත්තෑ එක්ලක්‍ෂ පනස් නවදහස් නවසිය හැත්තෑ හතරක අලාභයක් වී තිබුණි. එමෙන්ම සීනි සඳහා පැවති බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුවද ලංකා සතොස ආයතනය විසින් සීනි මෙටි‍්‍රක්ටොන් 2050ක් රුපියල් 92, රුපියල් 112 යන මිල ගණන් යටතේ මිලදී ගෙන තිබිණි. එසේ වැඩි මිලට මිලදී ගත් සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් හාරකෝටි හැත්තෑ ලක්‍ෂයක අලාභයක් සිදුවී තිබිණි.

සීනි කිලෝග‍්‍රෑම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොග මිල නියම කිරීමෙන් පසුවද සීනි කිලෝග‍්‍රෑම් විසිතුන් ලක්‍ෂ හැත්තෑ අටදහසක් එම මිලට වඩා වැඩි මිලට මිලදී ගැනීම හේතුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ පන්ලක්‍ෂ අනූහතර දහසක පාඩුවක් සතොස ආයතනයට සිදුවී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම රාජ්‍ය ආයතනයක් වූ ලංකා සතොස රජය විසින් නියම කරනු ලැබූ පාලන තොග මිලට සීනි මිලදී ගැනීමට කටයුතු කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් සුදු හා දුඹුරු සීනි සඳහා පනවා තිබූ බදු අඩුකිරීමෙන් රජය විසින් රුපියල් මිලියන දාසය දහස් හත්සිය හැටතුනක බදු ආදායමක් අහිමිකරගෙන තිබිණි. ඒ 2020 ඔක්තෝබර් 14 දා සිට 2021 පෙබරවාරි මස 28 දා දක්වා කාලසීමාවේදීය. එහෙත් එම බදු සහනය පාරිභෝගිකයාට හිමිවී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment