සීනි බදු මගඩිය – බිලියන 16 ක පාඩුවෙන් 30% ක් බදු ලෙස ආපසු ගන්නවා

198

ඇමැති රංජිත් සියඹලාපිටිය

මෙරටට සීනි ආනයනය කිරීම සඳහා බදු අඩු කිරීමෙන් රජයට සිදු වූ රුපියල් බිලියන 16ක පාඩුවෙන් සියයට 30ක් නැවත ආනයනකරුවන්ගෙන් ආදායම් බදු ලෙස අය කර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය. මින් ඉදිරියට බදු අඩු කිරීම වැනි කටයුත්තක් හිතුමතේ තනි පුද්ගලයකුට කිරීමට ඉඩ නොදෙන බව ද පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගනු ලැබූ බදු සංශෝධන අතරතුර ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට පවතින නීතිය යටතේ ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් සියයට 24ක් පමණක් අයකර ගැනීමේ හැකියාව මේ වන විට ඇති අතර මේ වන විට ඉල්ලා ඇති පරිදි එය සියයට 30 දක්වා වැඩි කර අයකර ගැනීමේ හැකියාව පවතින බව ද හෙතෙම කීය.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යෑමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමීමෙන් රජය කැප කළ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස ගණන් බලා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනා ගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් සියයට 45ක් ආනයනය කර ඇති අතර බදු සහනය හිමි වූ කාලයේ දී පමණක් එම සමාගම සීනි ආනයනය සියයට 1220 ගුණයකින් ඉහළ දමා ඇතැයි ද හෙතෙම පැවසීය.

සීනි ගෙන්වීම සඳහා බදු අඩු කර තිබියදී ලංකා සතොස ආයතනය වැඩි මිලට සීනි තොග මිලදී ගෙන ඇති බවත් එමගින් සතොසට රුපියල් කෝටි 10 ක අලාභයක් සිදුව ඇති බවත් රංජිත් සියඹලාපිටිය මහතා එහිදී වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment