සීනි වැටලීමේදී පටලැවිල්ලක්

69

නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගියේ යැයි කියන සීනි ගබඩාවක් පාරිභෝගික අධිකාරිය විසින් වැටලූ අවස්ථාවේ සිදු වී ඇතැයි කියන අත්වැරැද්දක් සම්බන්ධයෙන් කඩවත පොලිසිය සහ පාරිභෝගික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා වෙනවෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මීට දින කිහිපයකට උඩදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එෙඬ්රමුල්ල ප‍්‍රදේශයේ සීනි ගබඩාවක් වටලා ඊට මුද්‍රා තබා තිබුණි. පසුව මෙසේ මුද්‍රා තැබූ සීනි ගබඩාව යළි විවෘත කර එහි අඩංගු සීනි තොග ලොරිවලට පටවද්දී පාරිභෝගික නිලධාරීන් එහි පැමිණ සීනි පටවමින් සිටි සැකකරුවන් පොලිසියට භාර දී තිබේ.

මෙම සැකකරුවන් පොලිසියට ගෙන ගොස් ප‍්‍රශ්න කිරීමේදි ගබඩාවේ යතුර පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙක් විසින් සැකකරුවන්ට භාර දුන් බව පවසා ඇති අතර ඉන් පසුව ඔවුන් එම යතුර පොලිසියට ඉදිරිපත් කර ඇත.

එම අවස්ථාවේ යතුර භාරදුන් පාරිභෝගික අධිකාරියේ නිලධාරියා ද පොලිසියට ගෙන්වා කරුණු විමසා ඇත. මෙම සීනි ගබඩාව මුලින්ම වැටලූ අවස්ථාවේ නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා ගබඩාවට මුද්‍රා තැබූ බව ද පසුව නිවැරදි ලිපි ලේඛන ඉදිරිපත් කළ නිසා යතුර භාරදුන් බව ද එම නිලධාරියා ප‍්‍රකාශ කර ඇත.

මෙම තොරතුරු නොදත් තවත් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් තිදෙනා පොලිසියට භාර දී ඇත.

මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් මේ පිළිබඳ වාර්තාවක් ලබන සතියේ තමාට ලබා දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දුන් බවත්ය.

පාරිභෝගික අධිකාරිය සතුව ගබඩාවල ලියාපදිංචි වී ඇති සහ නැති ගබඩා ලැයිස්තු දෙකක් පවතින අතර වැටලීම සිදු කරන මොහොතේ අදාළ නිසි ලේඛන සීනි ගබඩා හිමියන් ඉදිරිපත් නොකළ නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණයක් ද පැවැත්වේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment