සීනි සභාපති රැක ගන්න සෙවනගල පැල්වත්ත විරෝධතා: සීනි සහ එතනෝල් නිෂ්පාදනය ද නවතී

95

සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සභාපතිවරයා වෙනුවට වෙනත් සභාපතිවරයකු පත්කිරීමට යන බවට රාවයක් පැතිර යෑමත් සමග එම සමාගමේ සෙවනගල, පැල්වත්ත යන කර්මාන්තශාලාවල සහ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ඊට විරෝධය පළ කර ඊයේ (02 වැනිදා) සිට සිය රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එකී කර්මාන්තශාලා සහ ප්‍රධාන කාර්යාලයේ සේවකයෝත් සිය සේවාවලින් ඉවත්ව ටයර් පුළුස්සමින්, බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදෙමින් සිටිති. මේ අනුව සෙවනගල හා පැල්වත්ත කර්මාන්තශාලා අවට එම පිරිස් විරෝධතා දක්වති. මේ නිසා එම කර්මාන්තශාලා වැසී ගොස් ඇති අතර සීනි සහ එතනෝල් නිෂ්පාදනයද ඇනහිට තිබේ.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනක නිමලචන්ද්‍ර මහතා සිය පෞද්ගලික සංචාරයක් සඳහා නිසි අවසරය මත විදේශගතව ඇත. ඒ අනුව වැඩ ආවරණය කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් වැඩබලන සභාපතිවරයකු ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඩී. පාඩිකෝරාල මහතා පත් කර ඇත.

ඒ අනුව ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ‘ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වෙනත් සභාපතිවරයකු පත් කරන තෙක්’ බවට දන්වමින් ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමට කූට ප්‍රයත්නයක් ක්‍රියාත්මක බවට සේවකයෝ චෝදනා කරති. ඔහුගේ තනතුර සුරක්ෂිත කර දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment