සීනි සමාගමේ සභාපතිවරයා ඉවත් කිරීමේ තැතක්

120

සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සභාපතිවරයා වෙනුවට වෙනත් සභාපතිවරයකු පත්කිරීමට කූට සැලසුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා කරමින් එම සමාගමේ සෙවනගල, පැල්වත්ත යන කර්මාන්තශාලාවල සහ ප්‍රධාන කාර්යාලයේ සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට සූදානම් වන බව වාර්තා වේ.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනක නිමලචන්ද්‍ර මහතා සිය පුද්ගලික සංචාරයක් සඳහා නිසි අවසරය මත විදේශගතව ඇති අතර එහිදී වැඩ ආවරණය කිරීමේ මුවාවෙන් වෙනත් සභාපතිවරයකු පත් කිරීමට යන බව කියවේ. මෙහිදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් වැඩබලන සභාපතිවරයෙකු ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඩී. පාඩිකෝරාල මහතා පත් කර ඇති අතර ඒ අනුව ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්වරයා වෙත “ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වෙනත් සභාපතිවරයකු පත් කරන තෙක්” බවට දන්වමින් ලිපියක් යොමු කර තිබේ. මෙම උත්සාහය පිටුපස වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව සේවකයෝ චෝදනා කරන අතර වැඩ වර්ජනය හේතුවෙන් සීනි සහ එතනෝල් නිෂ්පාදනය ද ඇනහිට ඇත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment