සීමාවන්ට යටත්ව 1 වැනිදා රට අරිනවා – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

155

පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ලබන මස 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ පෙරේදා (25දා) නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සහ එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කියා සිටියේය.

අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ මුල්ම අංක තුන අතරට ලංකාව පත් වෙලා තියෙනවා. අවුරුදු 20-29 අතර පුද්ගලයන්ටත් එන්නත ලබාදීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම 12-19 අතර සංකූලතා සහිත සහ ආබාධිත දරුවන්ට එන්නත් කිරීම අපි ආරම්භ කළා. කුරුණෑගල, අනුරාධපුර සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් සංකේතවත් ලෙස 12-19 දරුවන්ට එන්නත් කිරීම ආරම්භ කළා.

මේ වනවිට කොවිඞ් ආසාදිතයන්ගේ අඩුවක් අපි දකිනවා. රෝහල් ඇඳන් පිරීම අඩු වෙලා. රෝගීන් වාර්තා වීම අඩු වෙලා තියෙනවා. මරණ අඩු වෙලා තියෙනවා. රට විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කළොත් අපිට මේ සටන ජය ගන්න පුළුවන්.

ලබන මස 01 වැනිදා රට විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් 30 වැනිදා තීන්දුවක් ගන්න සිදු වෙනවා. අපේ බලාපොරොත්තුව රට විවෘත කරන්න. විවෘත කිරීමේදී යම් යම් සීමාවන් දාන්න සිදු වෙනවා. සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට අපි කටයුතු කරනවා.

මෙම නිරීක්ෂණ චාරිකාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු රැුසක් සහ නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරු රැසක්ද සහභාගි වූහ.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment