සීමා නීර්ණ කොමිසමෙ නිසා ඡන්ද කල් යන්නේ නෑ! – සීමානීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

149

මේ කතාව බොරුවක්!

හදිසි නීතිය තිබියදී වුවත් ජන්ද කල්දැමීම වැරදියි

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා සිමානීර්ණ කමිටුවක් පත්කිරීමට අගමැතිවරයා ලෙසත් පළාත් පාලන ඇමැතිවරයා ලෙසත් කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය නොවැම්බර් පළමුවැනිදා කටයුතු කර ඇත. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ සීමානීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. ඒ අතර විපක්ෂයේ චෝදනාව වී තිබෙන්නේ මෙම කමිටුව පත්කර තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා බවයි. සීමානිර්ණ කමිටුව පිළිබඳව මෙන්ම ඊට එරෙහිව එල්ලවන චෝදනාවන් පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතා පළකළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – ඔබට අලුතින් පැවරිලා තිබෙන වගකීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්

පිළිතුර – ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබෙනවා. නොවැම්බර් පළමුවැනිදා සිට බලපැවැත්වෙන ආකාරයට තමයි පත්කරලා තිබෙන්නේ. එම කමිටුව පත්කරන කොට සීමා නීර්ණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග එම කමිටුව පත්කරලා තිබෙනවා. සීමා නීර්ණ කොමිෂන් සභාවේ තුන් දෙනාගෙන් එක් අයෙකු ලංකාවේ නැහැ. මමත් අනෙක් සාමාජිකයාත් එම කමිටුවට පත්කරලා තිබෙන්නේ නිල බලයෙන්. අපි දෙදෙනාත් ඇතුඵව පස්දෙනකු එම කමිටුවට පත්කරලා තිබෙනවා. පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා.

ප්‍රශ්නය – මෙම කටයුත්ත අවසන් කිරීම සඳහා කොපමණ කාලයක් ගතවේවිද ?

පිළිතුර – ලබන පෙබරවාරි දක්වා ඒ සඳහා කමිටුවට කාලය ලබාදී තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඊට පෙර මෙම කටයුත්ත අවසන් කිරීමට.

ප්‍රශ්නය – පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන්නේ කෙසේද? ජන්ද කොට්ඨාස සංඛ්‍යාව අඩුකරනවා ද එසේත් නොමැති නම් ජන්දයෙන් සහ ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු පත්කිරීමේ අනුපාතය වෙනස් කරනවා ද?

පිළිතුර – මන්ත්‍රීවරු සංඛ්‍යාව 4000 සිට 8000 දක්වා අඩු කරන්න කියලා තමයි කියන්නේ. නමුත් අපි එම සංඛ්‍යාව 4000 දක්වා අඩු කරන්නේ නැහැ. මන්ත්‍රීවරුන් 4000ත් 5000ත් අතර සංඛ්‍යාවක් පත්වන ලෙස අපි කොට්ඨාස සීමානීර්නය කරනවා. මගේ පෞද්ගලික අදහස නම් මෙම කටයුත්ත හොඳින් කිරීමට නම් මන්ත්‍රීවරුන් අඩු කිරීමේ සීමාව 6000 ක් විය යුතුය කියන එක තමයි. කොට්ඨාස වලින් 3600 කුත් තෝරා පත් කිරීමෙන් 2400 කුත් පත් කරනවා නම් මෙම කටයුත්ත ඉතා හොඳින් කරන්න තිබුණා.

එහෙත් ආණ්ඩුව තීරණය කරලා තිබෙන ආකාරයට කටයුතු කරනවා නම් කොට්ඨාස සංඛ්‍යාව බාගෙට බාගයක් අඩු කළ යුතු වනවා. උදාහරණයක් විධියට සඳහන් කරනවා නම් අම්බලන්ගොඩ නගර සභාවට අයත් කොට්ඨාස සංඛ්‍යාව 12 සිට 6 දක්වා අඩු කිරීමට සිද්ධ වෙනවා. එතකොට සභික සංඛ්‍යව 10 දක්වා අඩු කිරීමට පුළුවන් වනවා. ඒ අනුව කොට්ඨාස වලින් 6 දෙනෙකුත් තෝරා පත්කර ගන්නා ක්‍රමයට 4 දෙනෙකුත් පත්කර ගන්න පුළුවන් වනවා. නමුත් 1969 දීත් අම්බලන්ගොඩ නගර සභාව සඳහා කොට්ඨාස 12 ට සභිකයන් 12 දෙනකු පත්වී තිබෙනවා. සභිකයන් සංඛ්‍යාව 8000 සිට 6000 දක්වා අඩු කළා නම් අම්බලන්ගොඩ නගර සභාවට පත්වන සභික සංඛ්‍යාව 12 ක් ලෙස සකස් කරන්න තිබුණා.

ප්‍රශ්නය – ජන්දයෙන් සහ තෝරාපත්කර ගන්නා මන්ත්‍රීවරුන් පත්කිරීමේ අනුපාතය 6 : 4 සිට 7 :3 දක්වා වෙනස් කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක් ද?

පිළිතුර – එම අනුපාතය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආ යුතුයි. එම නිසා එම කටයුත්ත කිරීමේ හැකියාවක් මෙම කොමිසමට නැහැ.

ප්‍රශ්නය – මීට පෙර පැවති සමානුපාතික ජන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රධාන තර්කයක් තමයි ගමට මන්ත්‍රීවරයෙකු සිටිය යුතුය යන්න. නමුත් පවතින ජන්ද ක්‍රමය යටතේ අම්බලන්ගොඩ නගර සභාවට කළුවඩුමුල්ල සහ ඕකන්ද යන ගම් දෙකම නියෝජනය කිරීම සඳහා පත්වූයේ එක් මන්ත්‍රීවරයෙකු පමණයි. කොට්ඨාස සංඛ්‍යාව තවදුරටත් අඩු කළ හොත් සෑම ගමකටම මන්ත්‍රීවරයෙකු යන සංකල්පය අහෝසි වනවා නේද?

පිළිතුර – කොට්ඨාස සංඛ්‍යාව තවදුරටත් අඩුකරන කොට කළුවඩුමුල්ල ඕකන්ද සහ පොල්වත්ත යන ගම් තුනම සඳහා එක් මන්ත්‍රීවරයෙකු පත්කිරීමට සිද්ධ වේවි. ජනතාවම කිව්වා මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩියි කියලා.

ප්‍රශ්නය – ජන්ද කොට්ඨාස සංඛ්‍යාව තවදුරටත් අඩු කළ විට ගම් කිහිපයකටම ලැබෙන්නේ එක් මන්ත්‍රීවරයෙකු පමණයි. එම නිසා මීට පෙර පැවැති සමානුපාතික ජන්ද ක්‍රමයම පැවතියා නම් හොඳයි කියලා සිතෙන්නේ නැද්ද ?

පිළිතුර – එම ක්‍රමයේ හොඳ ලක්ෂණත් තිබෙනවා. නමුත් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස අවශ්‍යයි. මන්ත්‍රීවරු සංඛ්‍යාව 6000 දක්වා පමණක් අඩු කළා නම් ඔය ප්‍රශ්නය නිරාකරණය කරගන්න තිබුණා. දැන් පවතින ජන්ද ක්‍රමය යටතේ අම්බලන්ගොඩ නගර සභාව සඳහා මන්ත්‍රීවරු 21 දෙනකු පත් වනවා. එම සංඛ්‍යාව නම් කොහොමත් වැඩියි.

ප්‍රශ්නය – ගම් කිහිපයක් එකතු කර ඒ සඳහා එක් නියෝජිතයෙකු පත් කරනවාට ජනතාව විරුද්ධ වුවහොත් ගතයුතු පියවර කුමක්ද ?

පිළිතුර – ඒ සඳහා සමාලෝචන කමිටුව විසින් තමයි පියවර ගතයුත්තේ.

ප්‍රශ්නය – පළාත් පාලන ආයතන වල සභිකයන් සංඛ්‍යාව අඩුකිරීම සඳහා ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඔවුන්ට දීමනා ගෙවීම සඳහා විශාල වියදමක් දරන්න සිදුවීම. හඳුන්වා දෙන නව සංශෝධනයන් මගින් එම ගැටලුවට විසඳුමක් ලැබේවි ද?

පිළිතුර – වියදම අඩුකරන්න නම් වෙනත් විකල්පත් තිබෙනවා. පළාත් පාලන ආයතන මසකට එක රැස්වීමයි පවත්වන්නේ. එම නිසා එම රැස්වීමට සහභාගි වීම සඳහා රුපියල් 5000 ක දීමනාවකුත් ප්‍රවාහන වියදම් සඳහා තවත් 2500 කුත් දුන්නා නම් වියදම භාගයකින් අඩුකර ගන්න තිබුණා. එතකොට මන්ත්‍රීවරු සංඛ්‍යව 4000 ට අඩු කළා වගේ තමයි.

ප්‍රශ්නය – විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව සීමා නිර්ණයට මුවා වෙලා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවට. එම නිසා ඔබගේ කීර්තිනාමය ආරක්ෂා කරගෙන සීමානීර්ණ කොමිසමෙන් ඉවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුඵ දේශපාලඥයන් කිහිප දෙනකුම ඔබෙන් ඉල්ලා තිබෙනවා නේද?

පිළිතුර – මම ඉවත්වුවත් වෙනත් පුද්ගලයෙකු පත්කර මෙම කටයුතුත්ත කරන්න බැරි ද? මහින්ද දේශප්‍රිය මෙම කොමිසමට පත්කරලා නැහැ. සීමානිර්ණ කොමිසමේ සභාපතිවරයා ලෙස තමයි මම පත්කරලා තිබෙන්නේ. අනෙක් කාරණය තමයි සීමානීර්ණ කොමිසමේ කටයුතු නිසා පළාත් පාලන මැතිවරණය කල්යනවා කියලා කියන්නේ කොහොමද ? අපි ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල නවත්වන්න පුළුවන් කාටද? ඒ සඳහා බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. මැතිවරණ කොමිසමට අපේ කටයුතු නිසා කිසිම බලපෑමක් නැහැ. මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්න කියලා කිව්වොත් සමන් රත්නායක මහතාට තමන්ගේ නිලධාරීන් සමග මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න පුඵවන්. නමුත් මැතිවරණ කොමිසම මේ පිළිබඳව සාකච්ඡා කරලා නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව ගැටලුවක් තිබේද යන්න විමසා ඇති බව දැනගන්න තිබෙනවා. එක මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්. මම හිටපු තැන නිසා මම ඒ පිළිබඳව අදහස් දක්වන්න යන එක සදාචාර විරෝධියි. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට සහ අධිකරණයට හැර වෙන කිසිවෙකුට මැතිවරණ කල්දාන්න බැහැ. මහින්ද දේශප්‍රියට කොහොමත් බෑ.

ප්‍රශ්නය – මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් විමසා තිබෙන කාරණය කුමක්ද?

පිළිතුර – ඒ පිළිබඳව හරියටම දන්නේ නැහැ. ඒ ගැන විමසිය යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවෙන් තමයි. නමුත් නීතිපතිවරයා සමග කරන ලිපි ගනුදෙනු පිළිබඳව කිසිවෙකු හෙළිදරව් කරන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ සීමානීර්ණ කොමිසම යොදාගෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බව ද ?

පිළිතුර – ඔව්. ජන්දය කල්දානවා නම් එය කළ හැක්කේ පාර්ලිමේන්තුවට සහ අධිකරණයට පමණයි. පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවත් එයත් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබෙනවා. ජන්ද කල් දැමීමට එරෙහිව නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. දයානන්ද දිසානායක මහතාට එරෙහිව 1998 දී වරුණ කරුණාතිලක සහ සුනන්ද දේශප්‍රිය පැවරූ නඩුවක් තිබෙනවා මැතිවරණ කල්දැමීමට එරෙහිව. එම නඩු තීන්දුවේ සඳහන් කරලා තිබෙනවා හදිසි නීතිය තිබියදී වුවත් ජන්ද කල්දැමීම වැරදි බව.

ප්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පැවති සමයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැම්මා. කාන්තා නියෝජනය වැඩිකිරීම යන කාරණය පදනම් කරගෙන තමයි එම අකටයුත්ත කළේ. වත්මන් ආණ්ඩුවත් එබඳු කටයුත්තකට සූදානම් වන බවට තමයි විපක්ෂය චෝදනා කරන්නේ.

පිළිතුර – පසුගිය ආණ්ඩු සමයේ දී කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පනතක් ගෙන ආවා. එම නිසා තමයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ. ජන්දය කල් දානවා නම් ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. එම අවස්ථාවේදී එම පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට පුළුවන්. ජන්ද ක්‍රමය වෙනස් කරනවා නම් ජන්දය කල් යනවා.

ප්‍රශ්නය – ආණ්ඩුව මෙම අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ චේතනාව ඇතිව කටයුතු කරන බව තමයි විපක්ෂය චෝදනා කරන්නේ. එම චෝදනාව පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මම ආණ්ඩුව නෙවෙයි නේ. එම නිසා මට ඒ සම්බන්ධයෙන් මුකුත් කියන්න බැහැ.

ප්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පැවති සමයේදී පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමූ පිරිස තමයි අද මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සූදානම් වන බවට චෝදනා කරන්නේ. මෙම චෝදනා ඔබ දකින්නේ කෙසේ ද?

පිළිතුර – දේශපාලකයන්ගේ ප්‍රකාශ පිළිබඳව මම සම්ප්‍රදායක් විධියට අදහස දක්වන්නේ නැහැ. මම එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සුදුසු නැහැ.

ප්‍රශ්නය – අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩිපුරම හඬ නගන්නේ උතුරු කොරියාවේ කියුබාවේ මෙන් නිර්ධන පංතියේ අඥාදායකත්වයේ නාමයෙන් ඒකාධිපති කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීමේ චේතනාවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ විසින්. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – තනි පක්ෂ පාලනයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැහැ. මේ රටේ කවුරුවත් එහෙම පාලනයක් ස්ථාපිත කරන බව කියන්නේ නැහැනේ. කියුබාව හෝ උතුරු කොරියාව පාලනය කරන පක්ෂ මෙහේ ඇවිත් ජන්දය තියන්න කියලා කිව්වොත් අන්න එදාට අපිට ඒ සඳහා උත්තර දෙන්න පුළුවන්.

සාකච්ජා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment