සීෂෙල්ස් සමගින් ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට

221

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන පාපන්දු තරගාවලිය

සිකුරාදා (19) කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ සිව්කොන් ජාත්‍යන්තර ආරාධිත පාපන්දු තරගාවලියෙහි තීරණාත්මක අවසාන මහා තරගයට වරම් ලබා ගැනීමට පෙරේදා (16) රාත‍්‍රී ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ප‍්‍රතිවාදී බංග්ලාදේශය ගෝල් 02 – 01 ක් ලෙස පරාජය කිරීමත් සමගිනි.

පසුගිය ඔක්තෝබර් මස 01 දින මාලදිවයිනේ දී ලත් ගෝල් 01 – 00 ක පරාජයේ වාඩුව බංග්ලාදේශයෙන් ගත් අවස්ථාවක් ලෙස මෙම තරඟය හැඳින්වීමේ වරදක් නැත.

පුරා වසර දෙකකට පසුව ශ‍්‍රී ලංකාව වාර්තා කර ගත් පළමු ජාත්‍යන්තර පාපන්දු ජයග‍්‍රහණය ද මෙය වෙයි.

ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 204 වැනි ස්ථානයේ පසු වෙන ශ‍්‍රී ලංකා පිලට ඉදිරි පිම්මක් සඳහා මෙම ජයග‍්‍රහණය බෙහෙවින් ඉවහල් වනු ඇත. ඒ අනුව 200 න් මෙහා රටවල් අතරට පැමිණීමට ශ‍්‍රී ලංකාවට හැකිවෙනු ඇත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවට හිමිවූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 04 කි. ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වුවද බංග්ලාදේශයට හිමිවී තිබුණු ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය ද 04 කි. ඒ අනුව දෙපිල ලබා ගත් ගෝල් ලකුණු පරතරය අනුව පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි විය.

සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පිලට එය මෙවර අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට ප‍්‍රමාණවත් විය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන අවසන් තරගය සඳහා සීෂෙල්ස් පිලට එරෙහිව ශ‍්‍රී ලංකා පිල සිකුරාදා (19* පස්වරු 07.30 ට කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී සටන් වදිනු ඇත

මාලදිවයින සමඟ පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් ශ‍්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරඟයේ දී ප‍්‍රතිවාදී සීෂෙල්ස් පිල හමුවේ ගෝල් 01-00 ක් ලෙස පරාජය විය. නමුත් අත්‍යවශ්‍යම මොහොතේ ක‍්‍රියාත්මක වෙමින් ශ‍්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

මද වැස්සෙන් මඩ ගොහොරුවක් බවට පරිවර්තනය වී තිබුණු ක‍්‍රීඩාංගණය තුළ සීෂෙල්ස් සහ මාලදිවයින අතර තරගය පැවැත්වීමෙන් අනතුරුව මෙම තරගය ක‍්‍රියාත්මක වූ බැවින් වේගවත් ක‍්‍රීඩා රටාවකට පිවිසීමට දෙපිලම අපොහොසත් වීම මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයකි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් තීරණාත්මක අවසාන තරගයට අවතීර්ණ වීමට බංග්ලාදේශය ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ශ‍්‍රී ලංකා පිලට හැකි විය.

වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයෙකුගේ

ලක්ෂණ මැනවින් ප‍්‍රදර්ශනය කරමින් මෙම තරගයේදී ද කැපී පෙනෙන චරිතය බවට පත් වන්නට මොහොමඞ් වසීම් රාසික් සමත් වීම විශේෂත්වයකි.

මාලදිවයිනට එරෙහිව සිදු කළ ආක‍්‍රමණයට නොදෙවෙනි සටන්කාමි රිද්මයක් අනුගමනය කළ මොහොමඞ් වසීම් රාසික් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද ගෝල් දෙකම තමන් නමින් සටහන් කර ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment