සීෂෙල්ස් හමුවේ ශී‍්‍ර ලංකාව පසු බසී

194
  • * අග‍්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලිය

    සීෂෙල්ස් කණ්ඩායම හමුවේ පසුබැසීමට ලක් වූ ශ‍්‍රී ලංකා පිලට ගෝල් 01 – 00 ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඉකුත් සෙනසුරාදා රාත‍්‍රී 09.00 ට කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී සිදු විය. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම දැන් ක‍්‍රියාත්මක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර ආරාධිත පාපන්දු තරගාවලියේ සිව්වන තරගයේ දී අදාළ පරාජය අත්වින්දේය.

    මෙවර තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාවට හිමි වූ පළමු පරාජය ද මෙය විය.

    ඉකුත් අඟහරුවාදා (09* මාලදිවයින සමග පැවති තියුණු තරගයේ දෙවන භාගය ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් 11 මෙම තරගයේ ආරම්භක ක‍්‍රීඩකයන් ලෙස නම් කර තිබීම ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙතින් කැපී පෙනුණි. ඒ අනුව පළමු තරගයේ පළමු 11 ට අයත්ව සිටි චරිත රත්නායක, කවි`දු ඉෂාන්, මොහොමඞ් ෆසාල් සහ මොහොමඞ් අමාන් වෙනුවට හර්ෂ ප‍්‍රනාන්දු, අසිකූර් රහුමාන්, මොහොමඞ් ආකීබ් සහ අහමඞ් ශෂ්නී කැඳවා තිබුණි.

    තරගය ඇරඹී පළමු භාගය තුළ දෙපිලම කරට කර සටනක නිරත වන අයුරු දැකගත හැකි වුවත් දෙවන භාගයේ 23 මිනිත්තුවේදී සීෂෙල්ස් ක‍්‍රීඩක ‘‘වොරේන් එරික් මැලී’’ විසින් වාර්තා කරන ලද එකම ගෝලය තරගයේ ඉරණම විසඳුණු අවස්ථාව ලෙස සටහන් වුණි.

    ඉන් අනතුරුව ප‍්‍රතිවාදී සීෂෙල්ස් ආරක්ෂක බල ඇණිය අභිබවා යමින් ගෝලයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දැරූ සියලූ උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් ගෝල් 01- 00 ක පරාජයක අමිහිරි රස අකමැත්තෙන් වුව ද පානය කිරීමට සිදු විය.

    ජයග‍්‍රාහී එකම ගෝලය සීෂෙල්ස් වෙනුවෙන් සටහන් කළ ‘‘වොරේන් එරික් මැලී’’ තරගයේ වීරයා ලෙස නම් කෙරුණි. මේ අතර වාරයේ බංග්ලාදේශය සහ මාලදිවයින අතර පැවති තරගයේ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට බංග්ලාදේශය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

    ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ඉසුලූ මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට දෙපිලම ගෝල් 01 – 01 ක් ලෙස වාර්තා කර ගනිමින් සම තත්ත්වයක පසුවිය. මෙහි පළමු ගෝලය 12 වැනි මිනිත්තුවේ දී ‘‘ජමාල් භූයාන්’’ බංග්ලාදේශය වෙනුවෙන් ද 32 වැනි මිනිත්තුවේ දී ‘‘මොහොමඞ් උමයිර්’’ මාලදිවයින වෙනුවෙන් ද ගෝලය බැගින් වාර්තා කරමින් කැපී පෙනුණි.

    එහෙත් දෙවන භාගයේ 88 වැනි මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ ‘‘ටෝපූ බහුමාන්’’ බංග්ලාදේශය වෙනුවෙන් දෙවන ගෝලය සටහන් කළේ ය.

    ඉන් අනතුරුව දෙපිලටම එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට නොහැකි වූයෙන් ගෝල් 02 – 01 ක අතිශය තියුණු ජයග‍්‍රහණයක් අත්විඳීමට බංග්ලාදේශ ක‍්‍රීඩකයන්ට හැකි වූහ.

    පැති විනිසුරුවරුන් වූ පාලිත හේමතුංග සහ ඩබ්ලිව්.එච්.ඞී.එස්. පේ‍්‍රමලාල් යන මහත්වරුන්ගේ සහයෝගය ඇතිව මෙම තරගය ශ‍්‍රී ලංකාවේ ඩිලාන් පෙරේරා මහතා විසින් විනිශ්චය කරන ලදී. තරග කොමසාරිස් ලෙස අන්සාර් මොහොමඞ් ආසික් මහතාද විනිශ්චය උපදේශක ලෙස නිමල් වික‍්‍රමතුංග මහතා ද සිව්වැනි විනිසුරු ලෙස තුසිත සමීර මහතා ද කටයුතු කළහ. මෙතෙක් පැවැති තරග ආශ‍්‍රිතව ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළටම පැමිණීමට බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන දෙරට සමත්ව සිටින්නේ ප‍්‍රසාද ලකුණු 04 ක් බැගින් ලබා ගනිමිනි.

    ප‍්‍රසාද එක් ලකුණකට හිමිකම් කියමින් සම තෙවන ස්ථානයේ පසුවන්නට ශ‍්‍රී ලංකාවට සහ මාලදිවයිනට සිදුවී තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment