සී.එච්. ඇන්ඞ් එෆ්.සී., ගුවන්  හමුදාව සහ පොලිසියට ජයග‍්‍රහණ – අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි තරගාවලිය

142

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තවත් තරග ත‍්‍රිත්වයක් ඉකුත් සති අන්තයේ පැවැති අතර එහිදී ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. සමාජය, ගුවන් හමුදාව සහ පොලිසිය සමත් විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසාද ලකුණු පුවරුවේ තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට ගුවන් හමුදා පිලට හැකි විය. මෙය ඔවුන්ගේ තෙවන ජයග‍්‍රහණය ද වේ. එමෙන්ම, තම දෙවන ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට සී. එච්. ඇන්ඞ් එෆ්. සී. සමාජය සහ පොලිසියට හැකි වීම ද කැපී පෙනුණි.

සී. එච්. ඇන්ඞ් එෆ්. සී. ලකුණු 33 යුද හමුදාව ලකුණු 23

හැව්ලොක් ක‍්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් යුද හමුදාව පරදා ලකුණු 33 – 23 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සී.එච්. ඇන්ඞ් එෆ්. සී. කණ්ඩායමට හැකි විය.

ආරම්භක භාගය තුළ ලකුණු 11 – 05 ක් ලෙස පෙරමුණේ පසුවූ යුද හමුදා පිලට තරගය ස`දහා නියමිත කාලය නිමා වන විට පරාජය වීමට සිදු වීම මෙහි දී කැපී පෙනුණි.

සී. එච්. පිල ගෝල් දිනුම් 04 ක් සහ උත්සාහක දිනුමක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර ගෝල් දිනුමක් සමග උත්සාහක දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් යුද හමුදා පිලේ ලකුණු එකතුව සටහන් කර ගත්තේය.

ජයග‍්‍රාහි වෙනුවෙන් කුෂාන් ඉඳුනිල්, අශාන් ඩාලිං, හිරන්ත පෙරේරා, මොහොමඞ් අබ්සාල් සහ ඕමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් සටන් කර ගත් අතර එහි ප‍්‍රවර්තන 04 ක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කරන්නට යෝෂිත රාජපක්ෂට හැකි විය.

ධනුක විජයතිලක ධනුෂ්ක තල්වත්ත සහ සුධාරක දික්කුඹුර යුද හමුදා පිල වෙනුවෙන් උත්සාහක දිනුම බැගින් සටහන් කර ගත් අතර එහි එක් ප‍්‍රවර්තනයක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කරන්නට තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චිට හැකි විය.

මෙම තරගය කවීන් ඇලෙක්සැන්ඩර් මහතා විසින් විනිශ්චය කරන ලදී.

ගුවන් හමුදා ලකුණු 12  නාවික හමුදාව ලකුණු 10

පසුගිය සතිය තුළ ප‍්‍රසාද ලකුණු පුවරුවේ තෙවන ස්ථානය තහවුරු කර ගෙන සිටි නාවික හමුදා පිලට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වෙමින් ලකුණු 02 ක සියුම් ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ප‍්‍රථම භාගය ක‍්‍රියාත්මක වූ ආරම්භක මිනිත්තු 40 තුළ ලකුණු 05 – 05 ක් ලෙස සම තැන් ගෙන තිබීම කැපී පෙනුණු නමුත් මෙම දෙපිල අතර උණුසුම් තරගකාරීත්වය දැක ගැනීමට හැකිවූයේ දෙවන භාගය ක‍්‍රියාත්මක වූ මිනිත්තු 40 තුළදීය. ඒ අනුව තරගය සඳහා නියමිත මිනිත්තු 80 කාලය තුළ ලකුණු 12 – 10 ක් ලෙස තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට ගුවන් භටයන් හට හැකියාව ලැබුණි.

ගුවන් හමුදා ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ගිම්හාන සිල්වා සහ විමුක්ති ප‍්‍රනාන්දු උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර එහි එක් ප‍්‍රවර්තනයක් නිවැරදි එල්ලයට යොමු කරන්නට ෆාරිස් අලී ට හැකි විය.

සජිත් සාරංග සහ යෝෂිත රාජපක්ෂ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් නාවික හමුදා පිලේ තරගකාරීත්වය තීව‍්‍ර කළේය.

රත්මලානයේදී පැවති මෙම තරගය ගිහාන් යටවර මහතා විසින් විනිශ්චය කරන ලදී.

පොලිසිය ලකුණු 20 සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ලකුණු 03

තම හුරුපුරුදු තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී ප‍්‍රතිවාදී සී. ආර්. පිල ලකුණු 20 – 03 ක් ලෙස පරාජය කරමින් මෙවර දෙවන ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට පොලිසියට හැකි විය.

ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 13 – 03 ක් විය.

ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් සමගින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට පොලිස් පිලට හැකියාව ලැබුණි.

ධනුෂ්ක එදිරිසූරිය, දේශාන් ප‍්‍රනාන්දු සහ විහඟ පිවිතුරු එක් උත්සාහක දිනුම බැගින් සටහන් කර ගත් අතර එහි ප‍්‍රවර්තනයක් සහ දඬුවම් පහරක් නිසි ලෙස යොමු කරමින් තම ලකුණු පුවරුවේ සංඛ්‍යාව ඉහළ නංවන්නට යොහාන් පීරිස්ට හැකි විය. පොලිස් පිල වෙනුවෙන් වාර්තා වූ එකම දඬුවම් පහර යසස් කවිඳු මුතුතන්ත‍්‍රිගේ පාදයෙන් සටහන වුණි.

මෙම තරගය දිලූ දීසන මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment