සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ සහ ජනාධිපති රනිල්ගේ අය-වැය!

357

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය මේ වනවිට සමාජ – ආර්ථික හා දේශපාලන යන හැම ක්‍ෂේත්‍රයකම අතිශය විවාදාත්මක මාතෘකාවක් වී තිබේ. ආර්ථික හා සමාජ විද්‍යා ක්‍ෂෙත්‍රවල ප්‍රාමාණිකයන් මෙන්ම වෙනත් විද්වතුන් සහ දේශපාලන දෘෂ්ටි කෝණවලින් ද ඒ සම්බන්ධ විවිධ විශ්ලේෂණ සිදුවෙමින් තිබේ. ජනාධිපති රනිල් සිය අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඒ සඳහා බෞද්ධ දර්ශනයේ ඇතුළත් ආර්ථික විග්‍රහයක් මෙන්ම මෙරටේ විශිෂ්ට නාට්‍යකරුවකු වූ සුගතපාල ද සිල්වාගේ දේශපාලන තේමාවක් සහිත පරිවර්තන නාට්‍යයක් වූ මරාසාද් නිර්මාණයෙන් ද උපුටා ගැනීම් කර තිබුණි. සමකාලීන සමාජය තුළ පුද්ගලයා මුහුණ දෙන විවිධ අර්බුද, අභියෝග මෙන්ම මානව සබඳතාවන්හි ඛේදවාචකයන් පිළිබඳව නොයෙක් සූත්‍රවලදී අවධානය යොමු කර ඇත. මුදල් සහ කාමභෝගී ජීවිත මිනිසාගේ දුකට හේතු වන ආකාරයට විසඳුම තෘෂ්ණාව ජය ගැනීම බව බුදුන්වහන්සේ වදාල දාර්ශනික සත්‍යය විය. එහෙත් ඉහත දැක්වූ සාමඤ්ඤඵල සූත්‍රය ඇතුළු වෙනත් සූත්‍ර ගණනාවකදී ලෞකික ජීවිත ගැටලු පිළිබඳව උන්වහන්සේ උපදෙස් ලබාදී තිබිණි.

බුදුන්වහන්සේ සමාජය දුකක් බව වදාල නමුත් සියලු දෙනාටම එයින් අබිනික්මන් කිරීමට යෝජනා නොකළ දාර්ශනික උතුමෙක් බව බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තහවුරු වේ. බටහිර සමාජය කිසිදිනක නුදුටු මානව වටිනාකම් සංවර්ධන සැලසුම් ඒ මඟ පෙන්වීම් තුළ ගැබ්විය. විශේෂයෙන් ආර්ථික හා මානව සදාචාර ධර්ම විග්‍රහ කෙරෙන අග්ගඤ්ඤ චක්කවත්ති සිහනාද කූට දන්ත, සිඟාලෝවාද පරාභව වැනි සූත්‍ර ගණනාවකින් අපට සමාජ ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍ර පිළිබඳව බෞද්ධ ආකල්ප අවබෝධ කරගත හැකිය. විශේෂයෙන් සමාජ සාරධර්ම නොතකන දූෂිත රාජ්‍ය පාලනයක විනාශය මනාව පැහැදිලි කළ කූටදන්ත සූත්‍රය ගැන ජනාධිපති රනිල් මෙයට පෙරද සිහිපත් කර තිබුණි. දරිද්‍රතාව නිසා පීඩාවට පත්වන ජනයා පාලකයන්ට එරෙහිව නැගී සිටින අයුරු එහිදී පෙන්වා දී ඇත. ජනමතයට කන් නොදෙන පාලනයක විපත ද එහිදී අවධාරණය කර තිබේ. ජනතා අභිලාශයන්ට අනුගත නොවන රාජ්‍යයකට ස්ථාවර පැවැත්මක් නොමැති බවත් ජනතාවගේ ආහාර, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපනය ආදිය සම්බන්ධ ගැටලු නිරාකරණය ප්‍රබුද්ධ රාජ්‍යයක ලක්ෂණ බවද බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවල පෙන්වා වදාල බවද සඳහන් කළ යුතුය.

ජනාධිපති රනිල් සඳහන් කළ පරිභෝජනය පිළිබඳව බුදුන්වහන්සේගේ දීර්ඝ විශ්ලේෂණ මෙහිලා දැක්වීමද අසීරුය. එය එතරම් ප්‍රබලය. එහෙත් මෙම අයවැය ලේඛනය පෙන්වා දෙන ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහාය යන්න ඉතා නිවැරැදිය. මේ ජනාධීපති රනිල් කළ අවධාරණයයි.

සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ සහ ජනාධිපති රනිල්ගේ අය-වැය!

‘බුදුන්වහන්සේ සාමඤ්ඤඵළ සූත්‍රයේ ණය ගැනීම ගැන මෙවැනි අදහසක් දක්වා තිබෙනවා. ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි’. නමුත් අපි කළේ මොකක්ද? ලෝකයේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් ණයට ගනිමින් ඒවා අපේ පරිභෝජනය සඳහා වියදම් කිරීම. අපි දවසින් දවස අලස වුණා. හැම දේම ආණ්ඩුවෙන් ලබාගැනීමට ජනතාව පුරුදු වුණා. හැම දේම ජනතාවට ලබා දෙන්න ආණ්ඩු කටයුතු කළා. අප කල්පනා කළේ අපෙන් රටට විය යුතු දේ ගැන නෙවෙයි. රටෙන් අපට විය යුතු දේ ගැන පමණක් හිතන සමාජයක් කෙමෙන් කෙමෙන් නිර්මාණය වුණා. අපි කළේ රටට ණය වෙමින් මඟුල් කනවා වගේ වැඩක්’මේ කතාව සහතික ඇත්තය. අපේ නායකයන් ක්‍රියා කළේත් ඡන්දය ගැන බලාගෙනය. ඔවුන්ට වැදගත් වූයේ ඊළඟ ඡන්දය විනා ඊළඟ පරපුර නොවේ. එය නිදහසින් පසු මෙරටේ දේශපාලනයෙහි වු බරපතළ අඩුවක් බව අද තහවුරු වී තිබේ. එහෙත් තවමත් අපේ බොහෝ නායකයන්ට වුවමනා රට ගොඩනැගීම නොව බලයත් තම පවුල්වල සුඛ විහරණයත් පමණි. සාමක්‍ද්ක්‍දඵල සූත්‍රයට අනුව ණයට ගෙන සුදුසු ලෙස ආයෝජනයෙහි යෙදවීම මෙන්ම එයින් ලාභ උපයා ණය හා පොලී හැකි ඉක්මණින් ගෙවා නිදහස් වීමටද වග බලා ගත යුතු වේ. බුදුන්වහන්සේගේ උපදේශය වූයේ ණයෙන් තොරව ජීවත්වීම වඩාත් යහපත් බවය.

බුදුන්වහන්සේ ඉණ සූත්‍රයෙහි මෙය විග්‍රහ කර ඇත. දිළිඳු බව නිසා ණය වීමට සිදුවේ. ණය ගත් විට එයට පොලිය ගෙවිය යුතු වේ. ණය නොගෙවීම නිසා චෝදනා එල්ල වේ. එය දඬුවම් ලැබීමටද හේතු වනු ඇත. එනිසා ගත් ණය ඵලදායි ආයෝජනයක යෙදවීම මෙන්ම එයින් නිදහස්වීමද බෞද්ධ උපදේශය වේ. ණය ගෙවීමට හැකියාවක් නොමැති කිසිවෙක් ණය නොගත යුතු බවද එහි සඳහන් වේ. ණයට ගෙන එය මගහැරීමට මාන බැලීම මෙන්ම මාගත් ණයක් නැතැයි කියමින් ණය හිමියන් මග හැරීම ද වසල ක්‍රියාවකැයි සුත්ත නිපාතයෙහිද සඳහන් වේ. රාජ්‍යයක මෙන්ම පවුලක සාර්ථකත්වය රඳා පවතින්නේ අය – වැය සමව තබා ගැනීමෙන් බව බුද්ධ වචනය විය. සමජීවකතාව ලෙස එය හැඳින්විණි. අද අප මුහුණ දී තිබෙන අර්බුදයේ මුලද ණය ගෙවීමට නොහැකි වීමය. ණටය ගත් දේවල් නිසි ලෙස ආයෝජනය නොකිරීමය.

මේ අනුව ජනාධිපති රනිල්ගේ අය-වැය මෙතෙක් රටට විපතක් වූ ණයට ගැනීම වෙත නැඹුරු නොවේ. මෙහිදී ජනාධිපතිවරයා විදේශ ණයවලින් සිදුවූ අයථා ක්‍රියාවන් ගැන සඳහන් නොකළත් ඒවායේ ගණන් හිලව් නැතිවීම කොමිස් කුට්ටි කඩා ගැනීම වැනි දූෂිත ක්‍රියාවලියක්ම විය. ණයෙන් ණය ගෙවීම විනා ණය ආයෝජනය කර ලාභ ඉපයීම ගැන අපේ පාලකයෝ නොදත්හ. අදත් චෝදනා නැගෙන රටට ඔරොත්තු නොදෙන මහා පරිමාණයේ ව්‍යාපෘතිවල අසාර්ථකත්වය පමණක් නොව ඒවායින් වංචා කරන ලද මුදල් පිළිබඳවද ජනාධිපතිවරයා ඉඳුරා දන්නා කරුණු වේ. අදත් මෙරටේ ආර්ථිකය කඩා වැටීමේ ප්‍රබලම හේතු ලෙස දූෂණ වංචා, නාස්තිය, අල්ලස යනාදිය දැක්විය හැකිය. එහෙත් මෙවර අය-වැය තුළින් හෝ ඒවා විමර්ශනය කෙරෙන බවක් තබා දූෂිතයන්ට දඩුවම් දෙන ආකාරයේ සැලසුම් ඉදිරිපත්ව නැත.

මෙම අය-වැය අලුතින් බදු යෝජනා නොකළ බව එයට පක්‍ෂව අයගේ තර්කයකි. එහෙත් මේ වන විට අය කිරීමට බද්දක් නැත. අයවැයට කලින් ගැසට් එක ක්‍රියාත්මක විය. එනිසා අය-වැය මෙරටේ ජනජීවිතයට කරන බලපෑම යහපත් නැත. මධ්‍යම පන්තියට මෙන්ම රජයේ සේවකයන්ට සහනයක් ලබාදීමට මේ අසීරු ආර්ථිකය තුළ නොහැකි බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ගේ වැය ශීර්ෂය ඉතා ඉහළ ගොස් තිබෙන බව අප කිව යුතුය. ආහාර, ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන ඇතුළු හැම ක්‍ෂේත්‍රයකම මිල මට්ටම් අද තිබෙන්නේ අහසේය. අය-වැයෙන් පසු මෝටර් රථ, ලියාපදිංචි ගාස්තු ද ඉහළ දමා තිබෙන අතර පාසල් උපකරණ දෙතුන් ගුණයකින් වැඩි වී තිබෙන බව ද වාර්තා වේ. කුමක් වුවත් අය- වැයෙන් යෝජනාව ඉඩම් අයිතිය පිළිබඳ අලුත් තත්ත්වය හා ලාභ ලබන ආයතන විකුණා දැමීමේ ප්‍රයත්නයක් ගැන කෙරෙන චෝදනා වුවද ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. එසේම ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ බිඳ වැටීම මෙන්ම විශාල පිරිසකගේ රැකියා අහිමිවීම් ගැනද විවේචන එල්ල වී තිබේ. ඇත්ත වශයෙන්ම අය-වැයෙන් ජනතාවට ලබා දී තිබෙන 2048 වසරේ පහළවිය හැකි සුඛිත මුදිත රටට වඩා අවම වශයෙන් 2018 තිබුණු තැනටවත් රට පත් කළ හැකිනම් හොඳ යැයි පවසන අයද සිටිති. ඇත්ත වශයෙන්ම ජනතාවට වුවමනා “කේතු මතී ”සිහින නොව හුස්මක් කටක් ගෙන ජීවිතය ගෙන යා හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළකි.

අද රට මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදයට දේශපාලන බල අධිකාරිය වගකිව යුතු අතරම තවත් කෝටි ප්‍රකෝටි ගණන්වලින් සංසරණය වන මුදල් කන්දරාවක්ද රට තුළ තිබේ. 1972 දී මෙරටේ මුදල් ඇමැතිවරයාව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අය වැයෙන් රුපියල් පනහේ සහ සියයේ නෝට්ටු අවලංගු කළ බව අපට මතකය. එම යෝජනාවේ අරමුණ වූයේ රටේ මුදල් තත්ත්වය ගැන සැබෑ අවබෝධයක් ලබා ගැනීමය. එදා සල්ලිකාරයන්ට කට උත්තර නැති වූවා පමණක් නොව ඒ මුදල් මාරු කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමටද සිදු වී ඇත. සමහරුන් කළේ සාමාන්‍ය ජනතාව අතට ඒ මුදල් දී බැංකුවලින් මාරුකර ගැනීමකි. කුමක් වුවත් එය රටේ මුදල් පිළිබඳ යම් ප්‍රමාණයක හෝ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හේතු විය.

මේ වනවිට මාධ්‍යවල වාර්තාවලින් කුප්‍රකට හෙරකගේ මුදල් ජාවාරමට සම්බන්ධවී සිටින පුද්ගලයන් ගැන විවිධ තොරතුරු හෙළිවමින් තිබේ. රටේ හිටපු ආණ්ඩුකාරයකු මෙන්ම ප්‍රකට නළු නිළියන්, භික්‍ෂුන් වහන්සේලා ඇතුළු වෙනත් ප්‍රධානීහු ද මේ ජාවාරමට පැටලී සිටිති. මේ මුදල් කළු සල්ලිද? නොඑසේ නම් සාධාරණ ඉපයීම්ද වැනි ප්‍රශ්න සමාජයට තිබේ. ජනතාවට පීඩනය ගෙන එන බදු බර මේ ජාවාරම් කළ අයට නොතිබුණු බවට කෙරෙන චෝදනාද විමර්ශනයට භාජනය විය යුතුය. වතුකරයේ දුප්පතුන් රොටියට භූමිතෙල් ටිකකට මුදල් නැතුව කඹුරද්දී ඒ ගිනි රස්නයට වැදුනු තවත් ජනකොටස් රට පුරාම සිටිති. එහෙත් බදු වංචා කරන අය මෙන්ම දේශපාලන ගජමිතුරුවාදය නිසා බදු සහන ලැබූ සුළු පිරිසක්ද මෙරටේ සිටිති.

ජනාධිපතිවරයා සිය අය-වැය කතාවේදී සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යයෙහි කී ආකාරයට කොට්ට උරයක්මෙන් කණපිට පෙරළා සියල්ල හෙළි කළ යුතු බවක් ද සඳහන් කර තිබුණි. ඒ කියන අලුත් ඇසින් විමසා බලා තවමත් හිස ස`ඟවා ගෙන සිටින ජාවාරම්කරුවන්, වසල වෙළෙඳ අධිපතියන් මෙන්ම තක්කඩි දේශපාලනඥයන්, දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආයතන ගැනද ජනතාව තුළ තිබෙන සැක සංකා බොහෝය. නොයෙක් චෝදනා පවා එල්ල වෙයි. මේ රට චෞර දේශයකැයි සමහරු කියන්නේ කරුණු ඇතිවය. විගණන වාර්තා කෝප් කමිටු ආදිය අබියස නිරුත්තවන නිලධාරීන් මෙන්ම දේශපාලන චරිතද වේ.

මෙවර අයවැය විවාදයේ දී විපක්‍ෂයේ ඉරාන් වික්‍රමරත්න නායකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බව යෝජනා කළේය. එයට අගමැති දිනේෂ් පැටලුනේ වැරදි වැටහීමකිනි. ඇත්තටම ඉරාන් මන්ත්‍රීගේ අදහස හොඳය. එය හැම මහජන නියෝජිතයකු සඳහාම අදාළ විය යුතුය. ඇතැම් අයගේ වත්කම් ජීවන රටා ආදිය කුතුහලයට තුඩු දී තිබේ. ජනාධිපති පැවසූ පරිදිම ඒවාත් සියල්ල නොසඟවා හෙළිවීම නිසා බොරු චෝදනා වුවද නිෂ්ක්‍රීය වේ. එසේම මහජන නියෝජිතයන්ටද බදු ලිපි ගොනු විවෘත වීමද හොඳ යෝජනාවකි. ඇත්තටම ඔව්හුද කිසියම් බදු මුදලක් ලබාදිය යුතු නොවෙත්ද? දේශපාලනයේ පිවිතුරු ගුණය අද නැත.

අපේ දේශපාලනය තනිකරම පවුල් ව්‍යාපෘතියකි. තාත්තලා පුතාලා, මහත්වරු නෝනලා ජාතික දේශපාලනය තුළ විගඩමක් බවට පත්ව තිබේ. සිරිමාවෝ මැතිනියට එදා එල්ල වූ ඥාති සංග්‍රහය, පවුල් ගස වැනි චෝදනාවල උපරිමය අද දේශපාලනයෙහි දැක ගත හැකිය. රාජපක්‍ෂ පවුල් දේශපාලනය ගැන ඇසෙන විවේචන චෝදනා සුළු පටු නැත. රාජපක්‍ෂ දේශපාලන පවුල් ගස අභිබවා යන දේශපාලන ක්‍රියාන්විතයක් එදා මෙදා තුර මෙරටේ නොවූ තරම්ය. රාජපක්‍ෂවරුන් රටට ලබාදුන් ගෞරවය, අභිමානය හෑල්ලු කිරීමට ද ඒ ව්‍යාපෘතිය හේතු වී නැද්ද?

මේ අය-වැය විවාදයට එක්වූ විපක්‍ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කළේ ජනතාවට බදු ගහන, සුබසාධන වියදම් කපා දමන ආණ්ඩුවක්, ඇමැති මණ්ඩලය වැඩි කිරීම විකාරයක් බවය. ඇත්තටම මේ නිසා විශාල අර්බුදයක ගිලී සිටින රටකට මෙතරම් දැවැන්ත ඇමැති මණ්ඩලයක් අවශ්‍යද? ඒ වෙනුවෙන් වැයවන මුදල ස්වල්පද? දේශපාලන ආරංචි අනුව නම් තවත් පිරිසකට ඇමැතිකම් රාජ්‍ය ඇමැතිකම් දීම සඳහා සුදානමක් තිබේ. එය සත්‍යයක් නම් ආණ්ඩුවට අද මේ රට තිබෙන අසීරු තත්ත්වය ජනතා දුක සියල්ලට වඩා තමන්ගේ පංගුව වැඩි කර ගැනීමේ වුවමනාවක් තිබෙන බව ජනතාවට ද පෙනී යනු ඇත. අපට මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ අලුතින් එලෙස පත් කිරීමට තරම් යෝග්‍ය, විස්කම් කළ හැකි චරිත මේ දේශපාලනයේ සිටිත්ද යන්නය. ගෝඨාභය පාලනය ප්‍රපාතයට ඇදගෙන ගිය නඩය ගැන මෙරටේ තිබෙන විවේචන, චෝදනා සුළුපටු නැත. එහෙව් පසුබිමක කොරේ පිටට මරේ කීවාක් මෙන් තවත් ඇමැතිවරුන් අහවල් දේකට දැයි විපක්‍ෂ නායක සජිත් මෙන්ම සිවිල් සංවිධාන නගන ප්‍රශ්නය අපටද තිබේ.

අය – වැය විවාදයේදී ආචාර්ය හර්ෂ කීවාක් මෙන් අද අලුත් ජනවරමක් සහිත ව්‍යවස්ථාදායකයක් තෝරා ගැනීමේ අවශ්‍යතාවද මතුවෙමින් තිබෙන බව පෙනේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ජයගැනීමට ද අලුත් ආණ්ඩුවකට වැඩි ශක්තියක් තිබෙන බව ද බොහෝ සිවිල් සංවිධාන හා වෘත්තිකයන්ගේද අදහස වී තිබේ. ජනතාවගේ විශ්වාසයක් ප්‍රසාදයක් නැති ආණ්ඩුවකට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ නොහැකිය. මේ වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හා මානව හිමිකම් පිළිබඳවද ප්‍රශ්න මතු වෙමින් තිබේ. අද පොලිසියට එල්ල වන චෝදනා බරපතළය. එය ජනතාවගෙන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ක්‍ෂේත්‍රයෙහිද අවධානයට ලක්ව තිබෙන කරුණකි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් පොලිස්පතිවරයාට කොන්දේසි විරහිතව සමාව අයැදීමට සිදුවීම ගැන කිව හැක්කේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා දැක්වීම්වලදී ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියාකරන ආකාරය ගැනත් නීති ක්‍ෂේත්‍රයේම දැඩි විවේචන තිබේ.

පොලිස් හිංසනයට එරෙහිව දැන් මතුවන විරෝධතා බොහෝය. සාමකාමී විරෝධතාවලට ඇතැම් පොලිස් නිලධාරීන් දක්වන ප්‍රතිචාර ඉතා නොමනා බව එබඳු පුවත් පෙන්වන රූපවාහිනීවලින් රටටම පෙනී යැයි. පොලිස් නිලධාරියෙකු තම වෘත්තියේ ගරුත්වය කෙලෙසන දසුනක් සමාජ මාධ්‍යවලද දැක්විණි. ඒ කාන්තා පොලිස් නිලධාරියෙකුගේ ගෙලින් අල්ලා වියරුව මොරදීමකි. එය එම පොලිස් නිලධාරියාගේ අමනකම පිළිබඳ කරන අතරම පොලිසිය පිළිබඳ චිත්‍රයට ද හානිදායක විය. වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා තබා ගැනීමද මේ වනවිට ආන්දෝලනාත්මක සිද්ධියක් වී තිබේ. පොලිසිය ජනතා විශ්වාසය රැක ගත යුතු නීතිය හා යුක්තියේ සංකේතයක් බව මේ අශිලාචාර පොලිස්කාරයන්ට කියාදීමට එහි සිටින යහපත් මහත්වරුන්ට භාර කරමු. අද නොවළල්ලෙන් පුවක් ගසින් බසින්නාක් මෙන් ආණ්ඩුවේ කීර්තිය මෙන්ම පොලිසියේ කීර්තියද සීඝ්‍රයෙන් බහිමින් තිබෙන බව ද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment