සුදුලූනු වංචාවට ඇල්ලූ ව්‍යාපාරිකයා රිමාන්ඞ්

154

ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මහා පරිමාණ සුදුලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 25 හැවිරිදි ව්‍යාපාරිකයා ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (23 වැනිදා* නියෝග කළේය.

මහා පරිමාණ සුදුලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 09 දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි ව්‍යාපාරිකයා මෙම මහා පරිමාණ සුදුලූනු වංචාවේ ප‍්‍රධානම සැකකරුවකු වන ව්‍යාපාරිකයාගේ පුත‍්‍රයාය.

රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයක් වටිනා සුදුලූනු තොගයක් වංචා කිරීමට අදාළ ලිපි ලේඛන සකස් කිරීම සහ සුදුලූනු තොග සඟවා තබාගැනීම යන චෝදනා යටතේ මෙම 25 හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසක සිටියදීය. පසුව සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගෙන ගොස් ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment