සුදුලූනු වංචාවේ සතොස වෙනුවෙනු පෙනී සිටින්නේ නැහැ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

343

* වරාය ගැනත් සලකා බලයි

සුදුලූනු වංචාවට අදාළව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවන වගඋත්තරකාර සතොස ආයතනය වෙනුවෙන් තම දෙපාර්තමේන්තුව නීතිඥ නියෝජනයක් සිදු නොකරන බව නීතිපතිවරයා ඊයේ (08දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම මූලික අයිතිවාසකම් පෙත්සමේ පළමු වන වගඋත්තරකාර ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නියෝජනයක් කරන්නේද, නැතිද යන කරුණත් සලකා බලමින් පවතින්නේ යැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සුදුලූනු වංචාවේ සතොස වෙනුවෙනු පෙනී සිටින්නේ නැහැ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

තම දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ වගඋත්තරකාර සතොස ආයතනයේ ලිපි ගොනුව නැවත සතොස ආයතනය වෙත යවා ඇතැයි ද ගාමිණී අමරසේකර, ඒ. එච්. එම්. ඞී. නවාස් සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරු ම`ඩුල්ල හමුවේ රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.

තම සමාගම විසින් ආනයනය කළ සුදුලූනු කන්ටේනර් 19 ක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අයුක්ති සහගත ආකාරයෙන් වරායෙන් බැහැර කර ඇති බවත් එකී අයුක්ති සහගත ක‍්‍රියාකලාපය නිසා තම සමාගමට සිදුවූ අලාභය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙසත් ඉල්ලා එන්රිච් ඉන්වෙස්ට්මන්ට් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (08දා* කැඳවිණි.

වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට තැන්පත් කර ඇති නඩුවට පාදක වූ සුදුලූනු අලෙවියෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ හැත්තෑ හතරකට අධික මුදල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් වනතුරු ලබා ගැනීමට අදාළ කිසිදු පියවරක් නොගන්නා බව එකී සුදුලූනු තොගය සතොස ආයතනයෙන් මිලදී ගත් සමාගම සහ එහි හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට එහිදී පොරොන්දුවක් ලබාදුන්නේය.

සිය සමාගම විසින් ආනයනය කළ සුදුලූනු තොගය ඩොලර් ගැටලූව හා කොරෝනා වසංගත තත්ත්වය නිසා වරායෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රමාද වූ බවත් දින තුනක් ඇතුළත එම භාණ්ඩ නිදහස් කර නොගතහොත් අලෙවි කරන බවට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමුකර වරාය බලධාරීන් එකී භාණ්ඩ සතොසට ලබාදී ඇති බවත් පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

පෙත්සමේ අඩංගු කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ලබන ජනවාරි 14 වැනිදා යළි කැඳවීමට විනිසුරු ම`ඩුල්ල නියෝග කළේය.

නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් මත නීතිඥ දමින්ද විජේරත්න, නීතිඥ සුන්දර මූර්ති ජෙගතන්, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි යන නීතිඥ මණ්ඩලය සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු 38 දෙනෙකු නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment