සුදුලූනු වංචාවේ සැකකරුවන් 5දෙනකුට ඇප…. සෑම මසකම අවසන් ඉරිදා සී.අයි.ඞී.යේ අත්සන් කරන්නත් නියෝග

275

සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (14 වැනිදා) නියෝග කළේය.

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ රණසිංහගේ සිරිමල් ප‍්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ කළමනාකාර (සැපයුම්), එච්. ඩබ්ලිව්. සමීර අලෙවි සල් කළමනාකරු (වැලිසර), නුවන් ලක්මාල්, චමිලා ජයන්ති අසුරමාන්න (ලක් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) සහ සුදුලූනු තොගය මිල දී ගත් ව්‍යාපාරික දීපක් කුමාර වසංජී යන සැකකරුවන් පස්දෙනාටය.

රටේ පවතින කොවිඞ් වසංගත රෝග තත්ත්වය මත දැනට රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන්ගේ ප‍්‍රකාශ ලබා ගැනීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සිදුකර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සැකකරුවන්ට ඇප ලබා දීමට විරෝධය දැක්වීමට හේතු පැහැදිලි කළහ.

සතොස ආයතනයේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් වරාය අධිකාරියේ ද පරීක්ෂණයක් සහ සාක්ෂි සටහන් කර ගැනීමටත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

මෙම සුදුලූනු කන්ටේනර් 19 ලංකාවට ගෙන්වූ එන්රිච් සමාගම වෙනුුවෙන් (අගතියට පත් පාර්ශ්වය) අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ අජිත් පතිරණ මහතා මෙය රාජ්‍ය දේපළක් බවත් හිතා මතා මහ දවල් සිදු කළ මංකොල්ලකෑමක් බවත් දුක්විඳින මිනිසුන්ට සහන මිලට අලෙවි කිරීමට සතොසට ලබා දුන් භාණ්ඩ බාහිර පාර්ශ්වයකට අලෙවි කර ඇති බවත් මීට පෙරද මෙවැනි වැරදි සිදුව ඇති බවත් අධිකරණය හමුවේ පැවසීය. ඉදිරිපත් වූ කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා 4/5/6/7/8 යන සැකකරුවන්ට ඇප ලබාදීමට නියෝග කළේය.

සැකකරුවන්ට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම වුණි. සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් තබන ලෙසත් ගුවන් ගමන් බලපත‍්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් ඒ පිළිබඳව ආගමන විගමන පාලකයා දැනුවත් කරන ලෙසත් නියෝග කෙරුණි.

සුදුලූනුු අලෙවියෙන් ලබාගත් රුපියල් හැත්තෑහතර ලක්‍ෂ හයදහස් එකසියයක මුදල නඩුව අවසන් වන තෙක් අධිකරණය භාරයේ තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට ද මහෙස්ත‍්‍රාත්වරයා අවසර ලබාදුන් අතර සතොස ආයතනය ඒ සඳහා විරෝධය පළ නොකරන බව පැවසීය.

දීපක් කුමාර් වසන්ජී නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නිමංක ජයතුංග යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, සජීව ගණේගොඩ, නලින් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු 25දෙනෙක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment