සුදුලූනු වංචාව ගැන මාධ්‍යයෙන් ප‍්‍රශ්න කිරීම නතර කරන්න…. අගමැතිගෙන් උපදෙස්

281

එහෙම කියද්දිත් සීඅයිඩිය පත්තරවලට රිංගයි… සීඅයිඩියට පත්තරත් මාරුවෙලා

ලංකා සතොස ආයතනයේ සිදුවූ රුපියල් කෝටි ගණනක සුදු ලූනු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම වහාම නතර කරන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබියදී ඊයේ (28 වැනිදා) උදේ 10.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ලංකාදීප පුවත්පත් කාර්යාලය වෙත ගොස් එහි මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇත.

එහෙත් එම පුවත්පත් ආයතනයේ ප‍්‍රධානීන් සහ මාධ්‍යවේදීන් ප‍්‍රකාශ ලබාදීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනත් දිනයක පැමිණෙන බව දැනුම් දී පිටව ගොස් තිබේ.

වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම සුදුලූනු වංචාව පිළිබඳව තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සූදානම් වී සිටියහ.

ලංකා සතොස ආයතනයේ සිදුවී ඇති රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනා කමෙන් යුත් සුදුලූනු වංචාව පිළිබඳව විමර්ශන නොකර එම වංචාව හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම ඉතාම අසාධාරණ ක‍්‍රියාවක් බවට අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට මාධ්‍ය ප‍්‍රධානීන් කටයුතු කර තිබිණි.

ඒ අනුව මෙම මහාපරිමාණ වංචාව හෙළිකළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම වහාම නතර කරන ලෙස අගමැතිවරයා ඊයේ උදෑසන ඇමැති සරත් වීරසේකර මහතාට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.

එහෙත් එසේ උපදෙස් ලබාදී තිබියදීත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට උත්සාහ කිරීම මාධ්‍ය ආයතන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය ප‍්‍රධානීහු පවසති.

විජය පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්‍ෂවරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා කැඳවීම් ලබාදෙමින් නිකුත් කර ඇති ලිපියේ ‘දිවයින’ පුවත්පතේ කතුවරයාද කැඳවන ලෙස ජුගුප්සාජනක දැනුම් දීමක් කර තිබූ අතර අඩු තරමින් ‘දිවයින’ පුවත්පතේ කර්තෘවරයා සේවය කරන්නේ උපාලි පුවත්පත් සමාගමේ බව දැනගෙන නොසිටීම ද පුදුමසහගත සහ හාස්‍යජනකය.

advertistmentadvertistment
advertistmentadvertistment