සුදුලූනු වංචාව සතොස ලොක්කෝ 4 ක් රිමාන්ඩ් ඇප දීමට සීඅයිඩිය විරුද්ධ වෙයි

235

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ලක්සතොස ආයතනයේ සුදුලූනු වංචාවට සම්බන්ධ බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (11දා) සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව් දෙනකු ඊයේ (12දා) වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදීගැනීම්) චමිලා ජයන්ති, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්) සිරිමල් ප‍්‍රනාන්දු, කළමනාකරු (සැපයුම්) සමීර එරන්ජිත් සහ අලෙවි සල් කළමනාකරු (වැලිසර) නුවන් ලක්මාල් යන අය වෙති.

රට පුරා ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වූ කාලසීමාවේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හි`ගයකින් තොරව ලබාදීම සඳහා වරායේ සිරවී ඇති ආහාර නිදහස් කර සතොස වෙළෙඳ සල් හරහා පාරිභෝගික ජනතාවට ලබාදීමට 2021/7/15 වැනිදා රජය විසින් නිකුත් කළ විශේෂ ගැසට් පත‍්‍රයට අනුව සතොස ආයතනය විසින් කිලෝවක් රුපියල් 105.00 බැගින් සුදුලූනු කිලෝ 54,860ක් කොළඹ වරායේ ගබඩාවකින් මිලදී ගෙන ඒවා සතොසට නිදහස් නොකර කිලෝව රුපියල් 135.00 බැගින් පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට අලෙවි කිරීමට බිල්පත් නිකුත් කිරීම ඇතුළු කරුණු කිපයක් මත මෙම සැකකරුවන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පසුගිය සැප්තැම්බර් මස 8 වැනිදා වරාය ගබඩාවේ තිබූ සුදුලූනු බහාලූම් පරීක්ෂා කර එදිනම රාත‍්‍රි අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ මගින් මිල ගණන් තීරණය කර ගැනීමෙන් පසු 9වැනිදා මුදල් ගෙවා මෙම සුදුලූනු තොගය සතොස භාරයට ගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

සැකකරුවන් වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඔවුනට එරෙහිව ඇති චෝදනා අධිකරණයට ඉදිරිපත් කළහ.

චෝදනා පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම සුදුලූනු වංචාව රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් බවත්, සැකකරුවන්ට ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් ඇති විය හැකි අතර සාක්ෂි වසන් කිරීමටද ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බව ප‍්‍රකාශ කළේය.

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් සිවුදෙනා සහ සැකකාරිය මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සතොසට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකළ මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් සිවුදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සංජීව ගණේගොඩ, නිශ්ශංක පීරිස්, සමීර ද සිල්වා, ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරු අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූහ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම සහ වත්තල – සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment