සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන්ගේ නිවසට සුදු වෑන් එකක් ඇවිත්

466

තමාගේ නිවස ඉදිරිපිටට සුදු පැහැති වෑන් රථයකින් නාඳුනන කිහිපදෙනෙක් පැමිණ ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාර ගුණවර්ධන මහතා ඊයේ (10 දා) කිරුළපන පොලිසියට පැමිණිලි කර ඇත.

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන්ගේ නිවසට  සුදු වෑන් එකක් ඇවිත්

පෙරේදා (09දා) සවස කිරුළපන පිහිටි තමාගේ නිවස පිටුපස මාර්ගයෙන් නිවස අසලට සුදුපාට වෑන් රථයක් පැමිණ ඉන් එක් අයෙකු බිමට බැස මේ නිවස තමයි කියා පවසා වෑන් රථයේ නැගී එම ස්ථානයෙන් පිටව ගිය බව අසල්වැසි නිවසක අය තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව පොලිසියට පැමිණිලි කිරීම සිදුකළ බවත් තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට පැවැසීය.

ලංකා සතොස ආයතනයේ සුදුලූනු මහා ජාවාරම ඇතුළු එම ආයතනවල සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිකිරීම නිසා ඇති වූ විවිධ බලපෑම් මත තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවද ඔහු පැවසීය. තමාට එරෙහිව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව තමා එම දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් දීමට කටයුතු කළ බවද ඔහු කීය. මේ සම්බන්ධයෙන් තමා මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතාට දුරකථනයෙන් දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ස්විස්ටර්ලන්තයේ ඩොලර් 34,000 ක් වැනි වැටුපකට සේවය කරමින් සිටියදී නව රජය පත්වීමෙන් පසු රජයේ ඉහළ පාර්ශව වලින් ලැබුණු ආරාධනය මත රටට පැමිණ රුපියල් ලක්‍ෂයක වැටුපකට පාරිභෝගික අධිකාරියේ රාජකාරී භාරගනු ලැබුවේ රටට සේවාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment