සුදුසුකම් නැති පවුල් 449,979 ක් සමෘද්ධිය ගනිති – කෝපා කමිටුවේදී හෙළිවෙයි

150

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33%කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බවත් ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු පවුල් වුව ද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් කෝපා කම්ටුවේදී අනාවරණය විය.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනා ගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බව මෙහිදී සඳහන් විය.

එසේම මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බව ද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

මේ පිළිබඳ අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එසේම ප්‍රජාමූල බැංකු වෙත මාසිකව ප්‍රේෂණය කරනු ලබන සමෘද්ධිලාභී ප්‍රතිලාභ මුදල ඇතැම් සමෘද්ධිලාභීන් විසින් මාසිකව ලබා නොගෙන දීර්ඝ කාලීනව තම බැංකු ගිණුම්වල රඳවා තිබුණු බවත් නියැදි පරීක්ෂණයන්ට අනුව ප්‍රජාමූල බැංකු 10ක වසම් 41 ක් තුළ සමෘද්ධිලාභීන් 2433 කගේ ඉතිරිකිරීමේ ගිණුම්වල එසේ රඳවා තිබූ මුදල රු. 59,951,537 ක් බවත් මෙහිදී අනාවරණය විය.

තවද සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම පිළිබඳව නිවැරදි වැඩපිළිවෙළක් නොමැති බව නිරීක්ෂණය වන බව ද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

එසේම සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී එහි සිටි සේවක සංඛ්‍යාව අන්තර්ගහනය කිරීම පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, නිවැරදිව දත්ත ඉදිරිපත් නොවූයෙන් එළඹෙන මැයි මස 26 වැනිදා මෙම දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට නැවත කැඳවීමට නිර්දේශ කළ අතර එදින මේ පිළිබඳ සියලු නිවැරදි තොරතුරු අවශ්‍ය වන බවද සභාපතිවරයා පැවසීය.

එසේම ලෝක බැංකු ආධාර යටතේ 2022 වර්ෂයේ ලැබුණු මූල්‍ය සහනාධාර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වුණු අතර එළඹෙන ජූලි මස සිට සිදුකිරීමට සැලසුම්කොට ඇති යාවත්කාලීන කිරීම් අනුව මෙම දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් පිළිබඳව ද විමසීම මෙහිදී සිදුවිය. මෙහිදී ඉදිරි සැලසුම් පිළිබඳව සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් නොවුණු අතර එළඹෙන මැයි මස 26 වැනිදා මෙම කාරක සභාව හමුවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පැමිණෙන විට ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසද කෝපා කමිටුව නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඉසුරු දොඩන්ගොඩ, ආචාර්ය හරිනි අමරසූරිය, මුදිතා ප්‍රිශාන්ති, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, ආචාර්ය සරත් වීරසේකර, මංජුලා දිසානායක, විමලවීර දිසානායක, වීරසුමන වීරසිංහ, ඩී. වීරසිංහ, අශෝක් අබේසිංහ, සහ ඒ. එල්. එම් අතාවුල්ලා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment