සුදුසුකම් සපිරූ ක‍්‍රීඩකයන් ඔලිම්පික් යවා පදක්කම් දිනන ක‍්‍රමයක් හදනවා

161

* දෙවැනි වරටත් ඔලිම්පික් සභාපති ධුරයට පත්  සුරේෂ් සුබ‍්‍රමනියම් කියයි

ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු ඉතා විනිවිද භාවයෙන් තමන් කරගෙන යෑමේදී ඇතැම් පිරිසක් එහි කටයුතු පරීක්ෂාවට ලක් කළ යුතු යැයි කියන්නේ කුමන කාරණාවක් නිසා දැයි තමන්ට නොතේරෙන බවත් තමන් හැමවිටම පෙනී සිටින්නේ රටේ ක‍්‍රීඩකයින් වෙනුවෙන් බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා පෙරේදා (28 වෙනිදා) මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.

ඉදිරි සිව් වසර සඳහා පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ජයගෙන දෙවැනි වරටත් සභාපති ධුරයට පත් සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා අදාළ ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍ය හමුවේ දී එසේ ප‍්‍රකාශ කර සිටියේය.

ඔලිම්පික් නිලවරණයෙන් පසු ඔලිම්පික් නිවහනේ පැවැති එම මාධ්‍ය හමුව සඳහා සභාපතිවරයා ඇතුළු නව නිලධාරි මඩුල්ල සහභාගි වූයේ ය.

පසුගිය වතාවේ තමන්ට හිමි වූයේ ඡුන්ද 18ක් පමණක් බවත් මෙවර ඡුන්ද 21ක් තමන්ට හිමි වූයේ තම ධුර කාලය තුළ තමන් හොඳින් වැඩ කර ඇති නිසා බව අමුතුවෙන් කිව යුතු නැති බවත් සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා ප‍්‍රකාශ කළේය.

මෙවර ඔලිම්පික් සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් ඊට සහභාගි වුණේ වයිල්ඞ් කාඞ් ක‍්‍රමය යටතේ බවත් එහෙත් ඉදිරි අදියරයේ දී අප ශ‍්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලට යවන්නේ සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයින් බවට ඔවුන් පත්කර බවත් සුබ‍්‍රමනියම් මහතා සඳහන් කළේය.

ක‍්‍රීඩාවට ලැදි, ක‍්‍රීඩාවට හදවතින් ආදරය සියලූ දෙනා මේ අවස්ථාවේදී ද තමන් සමඟ එකට සිට ගැනීම ශක්තියක් බවත් සුබ‍්‍රමනියම් මහතා ප‍්‍රකාශ කළේය.

‘අද අපිත් එක්ක එකතු වුණේ ක‍්‍රීඩාවේ උන්නතිය පතන පිරිසක්. අපි ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරනවා. අපි දැන් වැඩ කරන්න පටන් අරන් තිබෙනවා. ඊට හැමදෙනාටම දායක විය හැකියි. අපි ක‍්‍රීඩාව නව මානයකට ගේනවා. ක‍්‍රීඩකයන්ට සුභ අනාගතයක් ගොඩනගනවා.’ සුබ‍්‍රමනියම් මහතා තවදුරටත් සඳහන් කළේය.

ඔලිම්පික් පදක්කමක් යනු මීටර් සියයේ රේස් එකක් නොව වසර ගණනාවක් පුරා කැපකිරීම් කර ලබා ගත යුතු දෙයක් බවත් අපේ බලාපොරොත්තුව ඉදිරි වසර 8 තුළ ඔලිම්පික් පදක්කම් ගෙනෙන්නට හැකි ක‍්‍රීඩකයන් මෙරටින් බිහි කිරීම බවත් දෙවැනි වරටත් ඔලිම්පික් ලේකම් ධුරයට පත්වූ මැක්සල් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය

‘අපි මේ පත්වුණේ අවුරුදු හතරකට නෙවෙයි. අපි අවුරුදු අටක් සිටිනවා. අපිට ඊගාව ඡුන්දය ගැන හිතන්න දෙයක් නෑ. අපි ඒකත් දිනලා ඉවරයි. ඒකයි අපි අවුරුදු 8 ක ඉලක්කයක් ගැන කතා කරන්නේ. මේ වැඩපිළිවෙළ අවුරුදු 50 ක් දක්වා දිගට ඇද ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

අපි ඉරයි හඳයි දෙන්න පොරොන්දු වෙන්නේ නෑ. ඒත් අපි කරලා පෙන්නනවා. අපි වැඩියෙන් කතා කරන්නේ නැහැ. අපි අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන පිරිසක්. නිලවරණයත් දූෂිත වනු ඇතැයි සමහරු කිව්වා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. හැම දෙයක්ම විනිවිදභාවයෙන් කරා. හෙටටත් අපේ ඒ ප‍්‍රතිපත්තිය වෙනස් වෙන්නෙ නැහැ’ මැක්ස්වල් මහතා තවදුරටත් සඳහන් කළේය.

ඔලිම්පික් ගිණුම්වල නිවැරදි භාවයක් නැතැයි කී ප‍්‍රතිවාදීන් එම ගිණුම් වාර්තාව අනුමත කිරීම අපේ ගිණුම්වල විනිවිදභාවය තහවුරු කෙරෙන ප‍්‍රධාන අවස්ථාව බවත් දෙවන වරටත් ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ධුරයට පත්වූ ගාමිණී ජයසිංහ මහතා එම මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කළේය.

‘ඔවුන් එය අනුමත කළා. අපේ වරදක් නැති නිසයි ඔවුන් එය අනුමත කළේ. ඒ පිළිබඳව අපි මීට වඩා තවත් දෙයක් කිව යුතු දැයි මා දන්නේ නෑ. නිලවරණයක් ආසන්න වෙනවිට හැමදාම ඔය වගේ දේවල් කියවෙනවා. ඒ සත්‍යය ජය ගත්තා.’

සභාපතිවරයා, ලේකම්වරයා භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩලයත් සමග සහයෝගයෙන් කටයුතු කරමින් මෙරට ක‍්‍රීඩාව නැංවීමට කටයුතු කරන බව ප‍්‍රතිවාදී පාලිත ප‍්‍රනාන්දු පාර්ශ්වයෙන් උප සභාපති ධුරයට පත්වූ වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment