සුදුළූණු මගඩියට සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රිමාන්ඩ් සුදුළූණු සතොසට මුදාහැරේ

160

නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට සුදුලූනු කිලෝ 54,860 ක් අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) සුසිර පෙරේරා මහතා මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

එසේම පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මුද්‍රා තබා ඇති අදාළ සුදුලූනු තොගය සතොසට මුදාහරින ලෙසත් මෙම සුදුලූනු මිලදී ගැනීම සඳහා අදාළ පෞද්ගලික සමාගම වැයකළ රුපියල් හැත්තෑ හතර ලක්ෂ හයදහස් එකසීයක මුදල පොදු විමර්ශනයකින් පසු නැවත එම සමාගමට ලබාදෙන ලෙසත් සතොස ආයතනයට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

2021/07/15 දින රජය විසින් ගනු ලැබූ කැබිනට් තීරණයකට අනුව හිමිකරුවන් නොමැති වරායේ ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය රාජසන්තක කර සහන මිලට ජනතාවට ලබාදීම සඳහා සතොස ආයතනයට මුදාහැරීමේ ක‍්‍රමවේදය යටතේ මෙම සුදුලූනු තොගය වරායෙන් මුදාහැර තිබිණි.

නමුත් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා එම ක‍්‍රමවේදයට පටහැනිව මෙම සුදුලූනු තොගය කොළඹ පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට අලෙවි කර ඇති බවට ලද තොරතුරකට අනුව පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සුදුලූනු තොගය අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව සිදු කළ විමර්ශන ඔස්සේ මෙම රහසිගත මෙහෙයුම සිදු කළ විධායක නිලධාරිවරයා පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) සුසිර පෙරේරා මහතා පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් (මූල්‍ය) ප‍්‍රශ්න කිරීමේදී ඔහු මෙම සුදුලූනු කිලෝ 54,860 ක තොගය තමාගේ තනි තීරණය මත ආයතනයේ නියෝජ්‍ය කළමනාකාරවරයාට බලපෑම් කර පරිගණක කි‍්‍රයාකරන්නාට ලිඛිත නියෝගයක් නිකුත් කර රුපියල් 135.00 බැගින් අලෙවි කළ බව පවසා ඇත.

සතොස සිල්ලර අලෙවිසල්වලින් කිලෝවක් රුපියල් 355.00 බැගින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නියම කර තිබියදී රුපියල් 135.00 බැගින් එවර විකුණා තිබේ.

ඉන් සතොසට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු කළ බවට චෝදනා මත මෙම සැකකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (මූල්‍ය) ඊයේ (16 දා) සවස වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාරච්චි මහතාගේ අධීක්ෂණය මත පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් රංජිත් ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම සිද්ධිය පිළිබඳව ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment