සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ….. නීලාවන්ගේ හඩ මැකී යයි

781

හෙළ ගී මං පෙතේ ආදරණීය මතකයන් රැන්දූ ජනප‍්‍රසාදයට පාත‍්‍රවූ ප‍්‍රවීණ ගායිකා විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මිය ඊයේ (17දා) ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 72 හැවිරිදි වියේ පසුවූවාය. ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස පසුගිය 10 වැනිදා වැඩ භාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව ඉතාලියේ මිලානෝ නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති කීර්ති පැස්කුවල් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙවැනි ප‍්‍රවීණ ගායක ගායිකාවන් හදිසියේම වියෝවීම ගායන ක්‍ෂේත‍්‍රයට බලවත් පාඩුවක් බවද හෙතෙම පැවසුවේය.

‘පාරමි දම් පුරමු අප දෙදෙනා, වියෝ ගී ගැයෙනා හදේ, පුංචි සිතේ පුංචි සිනා, දරුවෝ නැති අම්මාලා, බෝධියේ විහාරයේ, ඔබගේ සෙවණේ, පනම් අටෙන් මට වැඩිකර දුන්න, දවවසක් දා ? වසන්ත සැණකෙළියේ, මාස්ටර් සර්, පෙම් සිලිලාරේ, මේ අවන්හලේ සැඳෑ වෙලාවේ, රන් ටිකිරි සිනා, සූසැට බරණින් සැරසීලා, පොල්කිචි නයිදේ කිචි බිචි කියලා, චාමර සැලූනාවේ, දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්, නිවන් දකින තුරා මතුදා, හිරුට අයිති බව හිරු පවසනවා, තුන්සිත දැහැන් ගතවෙනා’ ඇතුළු තවත් ගීත රැුසක් ගායනා කරමින් ඇය සංගීත ලෝලීන් පිනවූවාය.

මීට අමතරව ඇය 1984 වර්ෂයේදී තිරගත වූ ‘ඈතින් ඈතට’, 1984 දී තිරගත වූ ‘දෙවැනි ගමන’, 1975 වර්ෂයේදී තිරගතවූ ‘කළුදිය දහර’ ඇතුළු තවත් චිත‍්‍රපට කීපයකටම පසුබිම් ගායනයෙන්ද දායක වී තිබේ.

එසේම ඇය ටී. එම්. ජයරත්න, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව සූරීන්, ගේ‍්‍රෂන් ආනන්ද, මර්වින් පෙරේරා, කමල් අද්දරආරච්චි ඇතුළු තවත් ගායන ශිල්පීන් සමග යුග ගායනයෙන්ද එක්වී තිබේ.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායිකා නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  පි‍්‍රයන්ත මද්දුමආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment