සුදු රටේ කළු ගැහැනු

296

නව ජීවන මාර්ග ගැන කියැවෙන කාර්යබහුල වැදගත් නවකතාවකි…

ලෝක ප්‍රකට බුකර් ත්‍යාගය දිනාගත් පළමු කළු ජාතික කාන්තාව වන අප්‍රිකානු ලේඛිකා බර්නඩීන් එවරිස්ටෝ ගේ අටවන ප්‍රබන්ධ කෘතිය වන ‘Girl, Woman, Other’ නවකතාව ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ අතින් ‘සුදු රටේ කළු ගැහැනු’ නමින් සිංහලයට පරිවර්තනය වී ඇත. 2019 වසරේ බුකර් සම්මානය දිනාගත් ‘Girl, Woman, Other’ නම් එම දැවැන්ත නවකතාව පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවුණු හරවත් විචාරයක් එම වසරේ ම නොවැම්බර් 09 වන දින ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවී තිබේ.. එම විචාරය ලියූ ලේඛකයා වන්නේ, ඇමෙරිකානු පුවත්පත් කලාවේදියකු වන ඩ්වයිට් ගාර්නර් ය.

ඔහු බර්නඩීන් එවරිස්ටෝගේ ‘Girl, Woman, Other’ නවකතාව ගැන තබා ඇති ඒ විචාර සටහන සුනිලා විජේසිංහ සිදුකළ එහි සිංහල පරිවර්තනය වන ‘සුදු රටේ කළු ගැහැනු’ නවකතාව කියවන්නට සිංහල පාඨකයනට කරනු ලබන කිසියම් පෙළඹවීමක් වනු ඇත.

‘සුදු රටේ කළු ගැහැනු’ යනු විශාල මූල පද්ධතියක් සහිත වැදගත් කාර්යබහුල නවකතාවකි. නවකතාවේ ආරම්භයේ සිට ම ඇමා, යාස්, ඩොමිනික්, කැරොලි, බුම්මි සහ ලැටීෂා වැනි චරිත දිගින් දිගට ම පාඨකයා වෙත පැමිණෙන්නට පටන් ගනී. එම චරිත මෙන් ම, එම චරිතවල මිතුරන් ද, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද මෙම නවකතාව පුරා අපට හමු වේ. ඇමෙරිකානු නවකතාකාරියක වන ඈන් බීටී ගේ ප්‍රබන්ධ බොහොමයක් ‘මිත්‍රත්වයන්ට ප්‍රේම නිමිත්තක්’ බව ඇමෙරිකානු ලේඛිකාවක වන ලොරී මුවර් වරෙක සඳහන් කළා ය. එවරිස්ටෝගේ ප්‍රබන්ධ ද එසේ ය. මෙම නවකතාව සැබැවින් ම ජනාකීර්ණ ගම්මානයක් සේ වන අතර, එහි දී සෑම කෙනකුම අනෙකා මත රඳා පවතී. මෙහි ප්‍රධාන චරිතය කළු ජාතික සමලිංගික නාට්‍ය රචිකාවක වන ඇමා ය. පනස් වන වියේ පසුවන ඇයගේ අලුත් නාට්‍ය ලන්ඩනයේ ජාතික රඟහලේ වේදිකාගත වේ.

ඇගේ මෙම සාර්ථකත්වය ජීවිතය පිළිබඳ ඇගේ පැරණි කනස්සලු ස්වභාවයෙන් ඇය ඉවතට ගෙන යයි. මෙම නවකතාවේ පැතිකඩක් ගත්විට එය අර්ධ ස්වයං චරිතාපදානයක් සේ පෙනේ. මෙහි එක් තැනෙක ඇමා සිය යෙහෙළියක සමඟ නාට්‍ය සමාගමක් සොයාගනී. එවරිස්ටෝ ද 1980 ගණන්වල මුල් භාගයේ කළු ජාතික කාන්තා රඟහලේ තවත් කාන්තාවන් දෙදෙනකු සමඟ කටයුතු කළ සම-නිර්මාතෘවරියකව සිට ඇත.

සුදු රටේ කළු ගැහැනු

කාලයාගේ ඇවෑමෙන් මෙහි එන තවත් එකොළොස් දෙනෙක් ඇමාගේ කතාව සමග ප්‍රබල ලෙස බැඳී සිටිති. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය දක්වා පැමිණෙන එහි එක් චරිතයක් වන කැරොලි, ආයෝජන බැංකුකාරිනියක බවට පත්වන්නී ය. 93 හැවිරිදි වියේ පසුවන හැටී උතුරු එංගලන්තයේ ගොවිපළක ජීවත් වන්නී ය. එහි එන තවත් සමහර චරිත තරුණ පුද්ගලයන් වන අතර, ඇමාගේ සමකාලීනයන් වන ඔවුන් සියලු දෙනා ලන්ඩනයේ ජීවත් වෙති.

බහුවිධ අරුත් නඟන අන්තර් සම්බන්ධ කතාවන්ගෙන් පිරුණු මෙම නවකතාව ඇමෙරිකානු තිර රචිකාවක වන නොසේකා සැන්ජේගේ ඒකපුද්ගල කතාවලට යම් ආකාරයකින් සමාන වේ. එය ඇමෙරිකානු කාටූන් ශිල්පියකු වන ඇලිසන් බෙච්ඩෙල් ගේ සිත්ගන්නාසුළු නවීන නිර්මාණ ද පාඨකයන්ට නැවත සිහිපත් කර දෙනු ඇත. එම කාටූන් නිර්මාණ මෙන් ම, ‘සුදු රටේ කළු ගැහැනු’ නවකතාව ද බහු සංස්කෘතික සංවේදීතාවයේ භූමි දර්ශනයක් අප වෙත ඉදිරිපත් කරයි. එවරිස්ටෝගේ කැපවීම ඒ සඳහා තානය සකසා තිබේ.

ඇගේ මෙම කැපවීම බොහෝ පාඨකයනට ඉක්මනින් ම නවකතාව තුළට පිවිසීමට පෙළඹවීමක් වනු ඇත. එසේ ම, තවත් සමහරු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පළායෑමට පොළඹවනු ඇත. එසේ විවිධ මංමාවත්වල ගමන් ගන්නා කුතුහලයෙන් යුත් පාඨකයන් නොසන්සුන්ව දිගින් දිගට ම නවකතාව තුළ රැඳී සිටිනු ඇත. සිය චරිතවල සමහර මවාපෑම් මෘදු ලෙස විකෘති කරන විට බෙච්ඩෙල් මෙන් එවරිස්ටෝට ද එම ජීවිත දෙස අනුකම්පාවෙන් සහ කරුණාවෙන් බැලීමට දක්වන කුසලතාව පාඨකයාට නවකතාව තුළ එසේ රැඳී සිටින්නට හේතුවක් වී තිබේ. ඉතාලියානු සංගීතඥයකු වන ඇන්ටෝනියෝ විවාල්ඩි ගේ Four Seasons නම් වයලීන සන්ධ්වනියේ සංගීත ඛණ්ඩ කැරොලි ඇගේ දුරකථනයේ නාද රටාව (ringtone) ලෙස තබා ගන්නේ ඇයට සමාජයේ උසස් ලෙස පෙනී සිටීමට අවශ්‍ය නිසා ය. එසේ ම, ඇය ඇගේ ධනාත්මක අදහස් සෑම උදෑසනක ම මන්ත්‍රයක් මෙන් පුනරුච්චාරණය කිරීම පුරුද්දක් කරගෙන සිටියා ය. නසින්ගා නම් ඇමෙරිකානු කාන්තාවක් සමඟ ඩොමිනික් පෙම් සබඳතාවක් පවත්වන්නී ය. ගෘහ නිර්මාණ ශිල්පිනියක වන ඇය, රැඩිකල්, ස්ත්‍රීවාදී, බෙදුම්වාදී, සමලිංගික කාන්තාවකි. ඇයගේ සැබෑ නම සින්ඩි ය. සින්ඩි, ඩොමිනික්ට ද වඩා දැඩි ය. ඇය තම සංස්කෘතික විවරණය කෙළ පහරක් තරම්වත් මායිම් නොකරන්නියකි.

‘සුදු රටේ කළු ගැහැනු’ නවකතාව ලියා ඇත්තේ, ගද්‍ය සහ පද්‍ය අතර කිසියම් තැනකට වැටෙන දෙමුහුන් ආකාරයකට ය. ඇමෙරිකානු කවීන් දෙදෙනකු වන වෝල්ට් විට්මන්ගේ සහ ඇලන් ගින්ස්බර්ග්ගේ මෙන් එවරිස්ටෝ ගේ වැකි ද දිගු වැකි වන අතර, එම වැකි අවසානයේ කිසිදු විරාමයක් දක්නට නැත.

මෙම නවකතාවට ලිහිල් බවක් ලබාදෙන එවරිස්ටෝ ගේ ස්වරයේ දැඩි උද්‍යෝගීභාවයක් ගැබ්ව තිබේ. ඇගේ බුද්ධිය ද ඒ සඳහා උපකාරී වී ඇත. මෙහි යාස් තමන් විස්තර කරන්නේ නවීනත්වයට පත් යුවතියක ලෙස ය. අපට ‘හෑන්ඩ්ස්-ෆ්‍රී’ ජංගම දුරකථන සංවාදයක් කිරීමට අවශ්‍ය වූ විටෙක හිජාබයක් පැළඳීම කෙතරම් ප්‍රයෝජනවත් දැයි ඇය මෙහි දී අපට කියාදෙයි.

එවරිස්ටෝ ඇගේ සියලුම වාක්‍යවලට තරමක ආදරයක් දක්වන නමුත්, ඒවායින් කිහිපයක් පමණක් ප්‍රමාණවත් බවට ද ඇයට හැඟීමක් ඇත. මූලික වශයෙන් කතා වස්තුවක් රහිත මෙම නවකතාව දිගු එකක් වුව ද, එය සෑම විට ම සාරවත් වන බවක් නොපෙනේ.

මෙම වෘත්තාන්තය තුළ ඔබට තව තවත් අලුත් චරිත හඳුන්වා දෙනවාට වඩා ඔබට හමු වූ චරිත සමඟ ගත කිරීමට ඔබ කැමැත්තක් දක්වනු ඇත. එසේ ම, මෙම ගැඹුරු මානුෂීය නවකතාව ඔබට අගය කළ හැකි අතර ම ඔබේ උද්‍යෝගය පාලනය කර ගැනීමට ද එය ඉඩ සලසයි. එහෙයින්, මෙම අපූරු නවකතාව මිනිස් අත්දැකීම් බොහොමයක් මනාව ඇසුරුම් කර ඇති ප්‍රබන්ධයක් ලෙස හැඳින්විය හැකි ය. සිංහල පාඨකයාට තරමක් ආගන්තුක සමලිංගික සංස්කෘතිය සම්බන්ධයෙන් මෑත කාලයේ පරිවර්තනය වූ එක ම නවකතාව බොහෝවිට මෙම නවකතාව වියහැකි ය. මෙම නවකතාව පරිවර්තනය කිරීමේ දී වෙනත් විදෙස් නවකතාවක් පරිවර්තනය කරනවාට වඩා දුෂ්කර පරිවර්තනයක යෙදෙන්නට සුනිලා විජේසිංහ ලේඛිකාවට සිදුව තිබේ. ඒ, කලින් ද සඳහන් කළ ආකාරයට එවරිස්ටෝ ගේ ලේඛනයේ ඇති වෙනස් සහ වෙසෙස් ස්වභාවය යි. කියවන්නාට වැකියක මුල, මැද, අග හඳුනාගැනීමට ඉවහල් වන නැවතීමේ ලකුණක් හෝ නොමැති ලේඛනයක් පරිවර්තනය කිරීම පමණක් නොව, එම දුෂ්කර බන්ධනය කියවා තේරුම් ගැනීම පවා අතිශය දුෂ්කර කාර්යයකි. එසේ තිබිය දී එවන් ලේඛන ශෛලියකින් නිර්මිත මෙම ‘Girl, Woman, Other’ නවකතාව පරිවර්තනය කිරීම සඳහා සුනිලා විජේසිංහ ලේබිකාව තුළ වූ ඉවසීම, උනන්දුව, කැපවීම මෙන් ම, ඒ සඳහා වූ කුසලතාව ද අප මෙහි දී බෙහෙවින් අගය කළයුතුව තිබේ.

පිටු 452 පුරා දිවෙන මෙහි මුල් ඉංග්‍රීසි නවකතාවේ මිල ඇ.ඩො. 17කි. එහෙත්, පිටු 583 කින් යුත් එහි සිංහල ප්‍රකාශනයේ මිල රු. 1200 කි. එහෙයින්, මෙවන් ලෝක ප්‍රකට නවකතාවක් එතරම් අඩු මිලකට සිංහල පාඨකයාට හඳුන්වා දෙන්නට කටයුතු කිරීම ගැන ‘සරසවි’ ප්‍රකාශන ආයතනයට ස්තුති කිරීම ද අපගේ යුතුකමකි.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment