සුදු ලූනු කෙතරම් කළුද යත්…

240

සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56000 ක් පන්නන ලදී. කිලෝ 56000 ක් යනු මෙටි‍්‍රක් ටොන් 56 කි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට තනතුරෙන් ඉවත් වන්නැයි දේශපාලනඥයෙක් බලපෑම් කර තිබේ. සතොසෙන් බඩු පන්නන ලද පළමුවන හෝ එකම හෝ අවස්ථාව මෙය නොවේ. මීට මාස කීපයකට පෙර අනුරාධපුරයේ සතොස ගබඩාවකින් මේ ආකාරයෙන්ම අරක්කු තොගයක් පන්නන ලදී. බඩු පැන්නීම සිදුකරන්නේ පුද්ගලික අංශයට විකුණනු පිණිසය. පන්නන ලද සුදු ලූනු තොගය කැබිනට් අනුමැතියෙන් ගෙන්වන ලද්දකි. ඒවා කිසිදු බිලක් කැඞීමකින් තොරවම පුද්ගලික අංශයට විකුණා ඇත. සමහරවිට බිලක් නොකඩන ලද්දේ බිල සඳහා වැයවන රුපියල් තුනක හෝ හතරක මුදල ආණ්ඩුවට ඉතිරි කරදීමේ යහපත් චේතනාවෙන් විය යුතුය. බිලේ කාරණය සම්බන්ධයෙන් එසේ සිතා බොරුවට හිත හදාගත හැකි නමුදු තුෂාන් ගුණවර්ධනට තර්ජනය කිරීම ගැන හිත හදා ගැනීමට නොහැක. භයානක කුඩු වෙළෙන්දකු වූ පොට්ට නවුෆර්ගේ කුඩු නඩුව අසමින් සිටි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය, එම නඩුවේ තීන්දුව දීමට දින කිහිපයකට පෙර වෙඩි තබා මරවන ලදී. මහනුවර අධ්‍යාපන කාර්යාලයේ වංචාවක් සෙවීමට ගිය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරි ලලිත් අඹන්වෙලට ඇසිඞ් ගසන ලදී. ඇස් දෙකට ඇසිඞ් වැදීම නිසා සදාකාලික අන්ධභාවයට පත් ඒ යහපත් රාජ්‍ය සේවකයා අපා දුක් විඳ ගිය අවුරුද්දේ මළේය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ක‍්‍රමය තුළ මෙවැනි අත්දැකීම් බහුලව තිබේ.

අලූගෝසුවා මරා දැමීමෙන් මරණ දණ්ඩනයෙන් ගැලවීමට හැකි බව කල්පනා කරන ගොන් හරක් ලංකාවේත් ඉන්දියාවේත් බහුලය. නඩුකාරයා මැරෙව්වාට ඊළඟට වෙනත් නඩුකාරයකු පැමිණ එම නඩුව අසන බව මේ හරක් කල්පනා කරන්නේ නැත. ලලිත් අඹන්වෙලට ඇසිඞ් ගැසුවාට පසු විගණකාධිපති කාර්යාලයේ වෙනත් නිලධාරීන් මහනුවර අධ්‍යාපන කාර්යාලයට පැමිණ අඹන්වල නැවැත්වූ තැනින් වැඬේ පටන් ගත්හ. අන්තිමට අධ්‍යාපන කාර්යාලයේ වංචාව සිදු කිරීමට මෙන්ම අඹන්වලට ඇසිඞ් ගැසීම සම්බන්ධයෙන් දඬුවම් ලැබීමට ද විත්තිකරුවන්ට සිදුවිය. විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කරවන විට පොට්ට නවුෆර් සිටියේ වැලිකඩ හිරගෙදරය. ඔහු හමුදාවෙන් පැන ගිය සෙබළුන් හතර දෙනකුට ඉතා අඩු මුදලට විනිසුරු මැරීමේ කොන්ත‍්‍රාත්තුව ලබා දුන්නේය. ඒ එළියේ සිටි කුඩු මිත‍්‍රයන් මාර්ගයෙනි. දවසේ වැඩ නිමවා ගෙදර පැමිණි විනිසුරු අඹේපිටිය රියෙන් බැස ගෙට යන අතරතුර කොන්ත‍්‍රාත්කාර මිනී මරුවෝ ඔහුට වෙඩි තැබූහ. විනිසුරු අඹේපිටිය මියගියද නවුෆර්ගේ නඩුව නැවතුනේ නැත. අලූතින් පැමිණි විනිසුරෝ, විනිසුරු අඹේපිටිය නඩුව නැවැත්වූ තැනින් පටන් ගත්හ. අන්තිමට කුඩු වැරදිවලට මෙන්ම විනිසුරු ඝාතනය කිරීමේ වරදට ද දඬුවම් විඳීමට නවුෆර්ට සිදුවිය. නවුෆර් සිටියේ මරණ දඬුවම නියමව එල්ලා මරණ පෝලිමේය. එහෙත් ශ‍්‍රී ලංකාවේ වෙසෙන පාලකයෝ බලගතු රටවල බලපෑම නිසා අපරාධකරුවන් නොඑල්ලති. අන්තිමේදී පොට්ට නවුෆර් කොරෝනා වැළඳී මීට සති කිහිපයකට පෙර හිරගෙදර තුළම මිය ගියහ. කළ අපරාධවල හැටියට ඔහුට හිමිවූ මරණය හොඳ වැඩි බව අපට සිතේ. අඹන්වලට ඇසිඞ් ගැසූ අයටද (අප කොතරම් විරුද්ධ වුවද) සොබාදහම දඬුවම් දෙනවා ඇත.

මීට අවුරුදු 4000 කට පෙර සුමෙරියාවේ වල් ගස් අතර වැවී තිබියදී මිනිසුන් විසින් කෑමට පුරුදු වූ සුදු ලූනු යනු රත්තරන් වර්ගයක් නොවේ. එහෙත් එය ජන සමාජයට විශාල බලපෑමක් කරන ලූනූ ගෙඩියකි. පාරාවෝ රජවරු මිනී වළට යන විටත් සුදු ලූනු රැුගෙන ගියහ. ටූටන් කාමන් රජතුමාගේ දේහය තැන්පත් කර තිබූ පිරමීඩය තුළ සුදු ලූනු තොගයක් ද තිබිණ. ඒවා අවුරුදු 4000 ක් පැරණි වූ නමුත් ටූටන් කාමන්ගේ මමිගත කළ මළ මිනිය මෙන්ම හොඳ තත්ත්වයෙන් සංරක්ෂණය කර තිබිණ. මේ පිරමීඩය තුළ ටූටන් කාමන්ගේ පූසාගේ මමිය ද අශ්වයාගේ මමියද සේවකයන් පස් දෙනකුගේ පමණ මමිගත කරන ලද මළ සිරුරු ද අශ්ව කරත්තයක් ද තිබිණ. මෙහිදී ස්වාභාවික මරණයකට ලක්ව තිබුණේ ටූටන් කාමන් පමණි. සෙසු සියලූ දෙනාම, එනම් පූසා ද අශ්වයා ද සේවක ප‍්‍රජාව ද ඝාතනය කර මමිගත කර පිරමීඩය තුළට දමන ලද්දේ එලොව යනවිට ටූටන් කාමන්ගේ තනියට යෑමට ය. සුදු ලූනු දමා තිබුණේ එක්කෝ එලොව යන අතරමගදී කෑමටය. නැත්නම් එලොව ගොස් කෑමටය. සතොසේ සුදු ලූනු වංචාව ගැන විමර්ශන සිදුකරන තුෂාන් ගුණවර්ධනට තර්ජනය කළ දේශපාලනඥයා ද මමියක් බවට පත්කර සුදු ලූනු කිලෝග‍්‍රෑම් එකක් අතට දී පිරමීඩයක් තුළ බහාලීමට හැකි නීතියක් මේ රටේ නොතිබීම අඩු පාඩුවකි. මීළඟට කළ යුත්තේ මේ වංචාවට සම්බන්ධ ‘මහ මොළකරු’ සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමය. පාස්කු සිද්ධියෙන් පසු මහ මොළකරු යන වචනය ඉතා ජනප‍්‍රිය ය. වත්තක කෙහෙල් කැනක් නැති වුවද මිනිසුන් සොයන්නේ හොරා ගැන නොව සිද්ධියට සම්බන්ධ මහා මොළකරු ගැනය. මහා මොළකරු යන්නට ඇත්තේ එකම අර්ථකථනයකි. එනම් ඔහුගේ හිස් කබලට වඩා මොළය විශාලය. සුදු ලූනු වංචාව සහ එයට අදාළව තුෂාන් ගුණවර්ධනට තර්ජනය කළ දේශපාලකයා ගැන කායව්‍යච්ෙඡ්දනයක් කළොත් පෙනී යනු ඇත්තේ ඒ සියලූ දෙනාගේම මොළ හිස් කබලට වඩා කුඩා බවය.

advertistmentadvertistment
advertistmentadvertistment