සුදු ලූනු සුදු පාටටම තබා ගනිමු

1214

සුදු ලූනු කොතරම් පෝෂ්‍යදායක වුවද අප හිතනවාට වඩා ගඳ බව දැන් පැහැදිලිය. කොළඹ වරායේ ගොඩගසා තිබූ සුදු ලූනු තොගයක් මිලට ගත් ලක් සතොස ආයතනය ඒවා අඩු මිලට ව්‍යාපාරිකයකුට විකුණා කිලෝවක් රුපියල් 435 ගණනේ එම ව්‍යාපාරිකයාගෙන්ම ආපසු මිලට ගැනීමේ වැඩපිළිවෙළක් වූහයි දැනගන්නට තිබිණ. මෙතැනදී අදාළ ව්‍යාපාරිකයාට හිමිවෙන්නට තිබූ අයුතු ලාභය කිලෝවකින් රු. 300ක පමණ බව හෙළිවිය. අන්තිමේදී සිදුවූයේ සුදු ලූනු ගනුදෙනුවට අදාළ අය නොව ඒ ගැන හෙළිදරව් කරමින් ප‍්‍රවෘත්ති ලියූ අයත් කතු වැකි ලියූ අයත් සී අයි ඞී යට කැඳවීමය. ඒ ගැන දිග විස්තරයක් තිබේ. එය දැනට කතා නොකරමු. සුදු ලූනු ගනුදෙනුවට අදාළ ඉහළ නිලධාරීන් ගණනවක්ම සිටින බව පෙනේ. එහෙත් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදුවී නැත. සුදු ලූනු ගනුදෙනුවේ අන්තිම කොනේ සිටිමින් සතොසෙන් සුදු ලූනු මිලට ගත් හෝ මිලට ගැනීමට තැත්කළ මුදලාලිගෙන් ප‍්‍රශ්න කළොත් තොරතුරු රැසක් හෙළිකර ගත හැකි බව අපගේ විශ්වාසයයි. සුදු ලූනු ගනුදෙනුව ගැන හෙළිදරව් කළ මාධ්‍ය ආයතන වලට සුදු ලූනු සමග ඇති ගනුදෙනුව ඉතා සීමිතය. ඔවුන් ඒවා මිලට ගන්නේ සිල්ලර කඩ වලිනි. වැඩි වුණොත් සුදු ලූනු ග‍්‍රෑම් 500 ට වඩා ඔවුන් මිලට ගන්නේ ද නැත. මේ නිසා පණිවුඩය ගෙනා එකාට වෙඩි නොතබා ඒකා ගෙනා පණිවිඩයේ කුමක් තිබේද යන්න කියවා සුදුසු පියවර ගැනීම අපරාධ පරීක්ෂණ අංශවල වගකීමය. දැනට වෙළෙඳ පොළේ සුදු ලූනු කිලෝවක් රුපියල් 500 ක් පමණ වේ. අප්පිරියාවක් නැතිව අනුභව කළ හැකි හාල් කිලෝවක් රුපියල් 150 ඉක්මවයි. කිරි පිටි නම් කීයක් දුන්නත් සොයාගැනීමට නොහැක. ආණ්ඩුව සහල් වලට පාලන මිලක් යෙදූ සැණින් හාල් මෝල් කාරයන් කළේ මෝල් වැසීමය. මෙහිදී පාරිභෝගිකයාට මෝල් කලන්තය හැදේ. කෙසේ වුවද, සුදු ලූනු අර්බුදය ගැන යළි කතා කරනවා නම් කිව යුතුව ඇත්තේ මේ වංචනික ගනුදෙනුවට සම්බන්ධ කිසිවකුට දඬුවම් ලැබීමට ඉඩ කඩක් නැති බවය. මෙබඳු සිද්ධීන් සම්බන්ධයෙන් ලංකා ඉතිහාසයේ ඇති තොරතුරු පිළිබඳ විග‍්‍රහ කිරීමේදී මේ බව හෙළිවේ. නීතිය යනු යුක්තිය නොව යුක්තිය පසිඳලීමට ඇති මාර්ගයයි. නීතිය ඔස්සේ හරි ගමනක් යන හැමවිටම යුක්තිය හමු වේ. එහෙත් මොකක්දෝ අවාසනාවකට සමහර අවස්ථාවලදී තුන් මං හන්දි හෝ හතර මං හන්දි වලින් හැරී යුක්තිය තිබෙන දිසාවට නොව ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කිරීමට නීතියට සිදුවෙයි. කවර තත්ත්වයක් යටතේ හෝ ගරු අධිකරණය ගැන උපරිම විශ්වාසයක් අප තුළ තිබේ. සුදු ලූනු ගැටලූවද ගරු අධිකරණය හරහා මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරාකරණය වනු දැක්ම අපගේ ප‍්‍රාර්ථනයයි.

 පාස්කු බෝම්බයේ ප‍්‍රශ්නය තවමත් විසඳී නැත. ඒ බෝම්බ ප‍්‍රහාරයෙන් දෑවුරුද්දක් ගත වෙලාත් ප‍්‍රහාරය සැලසුම් කළ අය හරි ආකාරව හඳුනා ගැනීමට හැකිවී නැත. මේ ප‍්‍රහාරයෙන් මිය ගිය කතෝලිකයන් වෙනුවෙන් යුක්තිය පසිඳලා ගැනීමට කොළඹ අගරද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් තුමා සෑහෙන වෙහෙසක් ගනී. එහෙත් ප‍්‍රශ්නය අදටත් විසඳී නැත. යහපාලන රජය පරාජයට පත්කළ ප‍්‍රජාවගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවක් වූයේ පාස්කු බෝම්බය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමය. මෙය සැලසුම් කළ ප‍්‍රධාන පුද්ගලයා (මහා මොළකරු නමැති පිළුණු වූ අපුල වදන අප තවදුරටත් පාවිච්චි කරනු නොලැබේ) සොයා ගැනීමට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමටත් බැරිවිය. යහපාලන කාලයේදී බැඳුම්කරවලින් ගසා කා මහ බැංකුව අවභාවිතා කළ සිද්ධිය පිටුපස සිටින ප‍්‍රධානීන් අදටත් හසුවී නැත. මේ සිද්ධියට වගකිව යුතු බවට සැලකෙන එවකට මහා බැංකුවේ අධිපති වූ සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් ගේ මයිල් ගසක් පවා දැක ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත. අර්ජුන මහේන්ද්‍රන් පදිංචිව සිටින්නේ සිංගප්පූරුවේය. එරට මවුන්ට් එලිසබත් රෝහල පේන මානයේ පිහිටි අපාර්ට්මන්ට් එකක ජීවත්වන ඔහු විවිධ කටයුතු සඳහා අපාර්ට්මන්ට් එකෙන් පිටතට විත් මෝටර් රථය පදවාගෙන යන අයුරු දුටු සිංහලයෝ ඕනෑ තරම් මෙරට සිටිති. කොපමණ ඉල්ලීම් කළත්  සිංගප්පූරුව තම පුරවැසියා ලංකාවට භාර දෙන්නේ නැත. එය මේ රටේ සෙවලකමක් ද නොඑසේ නම් අපගේ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවල ඇති සෙවලකමක් ද යන්න නොතේරේ. අවසාන වශයෙන් අපට කීමට සිදුවන්නේ පොහොට්ටු ආණ්ඩුවද මහේන්ද්‍රන් ආරක්ෂා කරන බවය. ඕනෑම ජාවාරම්කරුවකුට හැම ආණ්ඩුවක් සමගම සම්බන්ධයක් තිබේ. එබැවින් මේ ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා කට උත්තර ගැනීමට යෑම අනවශ්‍ය ලෙඩක් දමා ගැනීමකි. පසුගිය දිනවල සිදුවූ සීනි වංචාව ද ජාවාරම්කරුවන්ගේ බලය උපරිමයට පෙන්වූ අවස්ථාවකි. කොළඹ වරායේ කන්ටේනර් අංගන තුළ කිරි පිටි කන්ටේනර් කොපමණ තිබෙන බව ඔබ දන්නේ ද? කිරි පිටි මිල තමන්ට අවශ්‍ය පරිදි වැඩිකරන තුරු ජාවාරම්කරුවෝ එම කන්ටේනර් වරායෙන් එලියට නොගනිති. සුදු ලූනු කෙතරම් කළු පාට ද යන්න ප‍්‍රශ්න කරමින් ඉකුත් 16 දා අපි කතුවැකියක් ලිව්වෙමු. අද අප කියන්නේ සුදු ලූනු සුදු පාටටම තබා ගැනීම ආණ්ඩුවේ වගකීම බවය.

advertistmentadvertistment
advertistmentadvertistment