සුදු වෑන් නඩුවේ පස් වැනි විත්තිකරුට විදේශගත වීමට ඉල්ලා සිටි  අවසරය ප්‍රතික්ෂේප වේ

225

සුදු වෑන් භාවිත කරමින් තරුණයකන් ඇතුළු 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පස්වන විත්තිකාර ඩබ්. ඇන්ටන් ප්‍රනාන්දු නැමැත්තාට ව්‍යාපාර කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කොළඹ විශේෂ ත්‍රි පද්ගල මහාධිකරණය ඊයේ (29) ප්‍රතික්ෂේප කළේය.

එම විත්තිකරු බෝට්ටු ව්‍යාපාරයක නිරත පුද්ගලයකු බවට පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වනු ලැබුවත් ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොතිබීම කෙරෙහි අවධානය යොමු කළ චම්පා ජානකී රාජරත්න” අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ.

නඩුවට පාදක වූ විමර්ශන කටයුතු තිබියදී එම නඩුවේ සමහර විත්තිකරුවන් ව්‍යාජ විදේශ ගමන් බල පත්‍ර උපයෝගී කර ගනිමින් විදේශ ගත වී සිටියදී දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගෙන ඇති බැවින් කිසිදු විත්තිකරුවකුට විදේශ ගත වීමට අවසර ලබා නොදෙන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එලෙස විදේශ ගත වීමට අවසර ලබා දුනහොත් එම විත්තිකරු නැවත නඩු විභාගය සඳහා ගෙන්වා ගැනීමේ හැකියාවක් නොලැබෙන බවද අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නාය. නීතීඥ ගජබා කළුපහන ඇතුළු නීතීඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු ජේ්‍යෂ්ඨ නීතීඥ මඩුල්ලක් විත්තිය නියෝජනය කළහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment