සුධීක්‍ෂාට දෙවියන්ගෙන් ලැබුණු  තෑග්ග – මේනකගේ  අතින් අල්ලන්නත්  බය වුණා

528

නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් වන සුධීක්‍ෂා සමාධි මේ වන විට ප්‍රේක්‍ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. ඇයගේ  කර්ලි කොණ්ඩය ඇයටත් වඩා ජනප්‍රිය බවයි සුධීක්‍ෂා කියන්නෙ. ඇයගේ ටෙලිනාට්‍ය ත්‍රිත්වයක් මේ දිනවල විකාශනය වන අතරතුර කාර්යබහුල වුණත් මීවිත සමග කතාබහකට මේ විදිහට එකතු වුණා.

මේනකගේ අතින් අල්ලන්නත්  බය වුණා….

සුධීක්‍ෂාට දෙවියන්ගෙන් ලැබුණු  තෑග්ග - මේනකගේ  අතින් අල්ලන්නත්  බය වුණා

මීනු ටෙලියේ රෙහානි ගැන කතාකළොත්?

මීනු 2020 වර්ෂයේ කළ නිර්මාණයක්. කොවිඩ් කාලෙ තමයි රූගතකිරීම් සිදු කළේ. බොහොම කෙටි නාට්‍යයක්. ඒ නිසාමයි මේ ආරාධනය භාරගත්තෙ. ඒ වගේම චරිතයටත් මම ගොඩක් ආදරෙයි. රෙහානි කියන්නෙ සාමාන්‍ය පවුලක අම්මගෙ ඇසුරේ හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. හැබැයි එයා ආදරේ කරන්නෙ බැඳපු කෙනෙකුට. ඒ ආදරය හරිම පිවිතුරුයි. අවංකවම ආදරේ කරනව. නමුත් පසුකාලීනව ජීවිතේ මතුවන ගැටලුත් එක්ක ගැහැනු කෙනකුගේ චරිතය වෙනස්වෙන විදිහ තමයි ඒ චරිතෙන් පෙන්නුම් කරන්නෙ.

සුධීක්‍ෂාට දෙවියන්ගෙන් ලැබුණු  තෑග්ග - මේනකගේ  අතින් අල්ලන්නත්  බය වුණා

මෙවැනි චරිතයක් අභියෝගයක් වුණේ නැද්ද?

මගේ වයස, පෙනුම වගේම මට චරිතය කරන්න තියෙන්නෙ මේනක රාජපක්‍ෂ අයියත් එක්ක කියල දැනගත්තට පස්සෙ පොඩි අභියෝගයක් මතු වුණා. ඒ වගේම ශලනි අක්කගෙ මහත්තය සමග තමයි මම මේ සම්බන්ධය පටන්ගන්නෙ. මේ කරුණුත් එක්ක මම චරිතය නිරූපණය කරද්දි නාට්‍යයට සාධාරණයක් කරන්න පුළුවන්වෙයිද, චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්වෙයිද කියන එක ඇත්තටම අභියෝගයක් වුණා. නමුත් බය වුණේ නැහැ. මාව මේ චරිතයට යෝජනා වුණේ යම් කිසි හේතුවක් තියෙන නිසානෙ. ඒ නිසා මමත් කැමැති වුණා මගේ හැකියාවත් උරගා බලන්න. ඒ වෙනුවෙන් මට මේ හැම කෙනෙක්ම උදව් කළා.

සුධීක්‍ෂාට දෙවියන්ගෙන් ලැබුණු  තෑග්ග - මේනකගේ  අතින් අල්ලන්නත්  බය වුණා

මේනකගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?

මේනක අයිය කියන්නෙ මට වඩා ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුගෙ අතින් අල්ලන දර්ශනයකදි පවා මම හරිම කුලෑටි බවක් දැක්වුවේ. මට බයයි. චරිත කරන්න ඕන මෙහෙමයි කියල ඔළුවෙ තිබුණට ප්‍රායෝගිකව කරන්න බයයි. එතනදි ඔහුට ඒක දැනිල චරිතයට සාධාරණයක් කරන්න ලොකු සහයෝගයක් ලබාදුන්නා.

මේ වන විට රූගතකිරීම් අවසන්ද?

ඔව්, මාස තුනක වගේ කාලයක් තුළ මෙහි රූගතකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළා.

විකාශයවීම නරඹන විට කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම සතුටුයි. ප්‍රේක්‍ෂකයො මේ තරම් ආදරෙන් වැළඳගනීවි කියල හිතුවෙ නෑ. දස වැනි කොටසින් පස්සෙ විකාශනය වුණ හැම කොටසක්ම ටේ‍රන්ඩින් වුණා. මං වගේ නවක රංගන ශිල්පිනියක්ට ඒක ලොකු වාසනාවක්.

අධ්‍යක්‍ෂවරයාගෙ ප්‍රතිචාරය මොනවගේද?

මීනු ටෙලියේ අධ්‍යක්‍ෂවරයා වෙන්නෙ ඉරේෂ් ලොකුබණ්ඩාර. ඔහු මුලින්ම මාව තෝරාගනිද්දි කෝල් කරල කිව්වෙ, ඔයාව තමයි මේකට ගැපෙන්නෙ, අපි මේක කරමු කියල. රූගතකිරීම් අතරතුර මම ඉරේෂ් අයියගෙන් අහනව මම මේ කොටස කළා හරිද. මොනවද අඩුපාඩු කියල. එහෙම කතාකරල වැඩකරන්න තිබුණ පහසුවත් එක්ක තමයි මේ නාට්‍යය මේ තරම් සාර්ථක වුණේ. මෙතනදි ඔහු කියපු තවත් දෙයක් තමයි, තමාලි මේ චරිතය තමයි ඔයාගෙ හැරවුම් ලක්‍ෂය වෙන්නෙ. ඔයාට පුළුවන් මේක කරන්න කියල. ඒ විශ්වාසයත් එක්ක තමයි මම වැඩ කළේ.

පිටපත් රචිකාව ගැන කතාකළොත්?

මෙහි පිටපත් රචිකාව වෙන්නෙ ගයනි අසිංසිලා. මේ මම ඇයත් එක්ක වැඩකරපු පළවෙනි වතාව. නමුත් මේ වන විට ඇයගේ අලුත් නාට්‍ය කිහිපයකම වැඩකරමින් ඉන්නව. මීනු චරිතයේදි ඇයත් පෞද්ගලිකව මට කතාකරල චරිතය ගැන පැහැදිළි කළා. නිෂ්පාදක ෆාහිම් මවුජූඩ් මහත්මයාවත් මෙතනදි මතක්කරන්න ඕන.

ඔබේ වෙනත් නිර්මාණ?

‘මීනු’ ටෙලි නාට්‍යයට අමතරව ‘රාජිණී’ සහ ‘දිවිතුරා’ යන ටෙලිනාට්‍ය විකාශණය වෙනව.

කොහොමද ප්‍රේක්‍ෂක ප්‍රතිචාර?

‘මීනු’ සහ ‘රාජිණී’ යන ටෙලි නාට්‍ය දෙකෙන් මේකට වැඩි ප්‍රතිචාර ලැබෙනව කියන්න බැහැ. දෙකටම එක හා සමාන ප්‍රතිචාර ලැබෙනව. මීනු ටෙලියට සමහර අය කමෙන්ට් දානව මාව මගදි මුණගැහුණොත් ගහනව කියල. අසේකාගෙයි සමල්ගෙයි පවුලට මෙහෙම කරන්න එපා කියල තමයි ඔවුන් කියන්නෙ. දිවිතුරා නාට්‍යයේ රැප් ගර්ල් ගෙ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

මේ ටෙලිනාට්‍ය තුනම එකවර විකාශනය වීම කොහොමද ඔබ දකින්නෙ?

මම හිතන්නෙ මේක තමයි හොඳම වෙලාව. හොඳම කාලය. මේ නාට්‍ය තුනම එකවර විකාශනය වුණේ නැත්නම් මගේ දක්‍ෂතාවන් තුන් ආකාරයට ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නෙ නැහැ.

අලුත් ආරාධනා ලැබුණද?

ඔව්, අලුත් නිර්මාණ බොහෝ ප්‍රමාණයකට ආරාධනා ලැබුණ. එයින් මට සාධාරණයක් කරන්න පුළුවන් කියල හිතෙන නිර්මාණ කිහිපයක් භාරගත්තා.

කොහොමද කාලය වෙන්කරගන්නෙ?

ඇත්තටම කිව්වොත් මාස දවස් තිහම මම වෙන්කරල තියෙන්නෙ කලාව වෙනුවෙන්. ගෙදර රැඳෙන්න කාලයක් නැති තරම්. දැනට විකාශනය වන ටෙලි නාට්‍ය තුනට අමතරව තවත් නිර්මාණ දෙකක වැඩවලට එකතුවෙනව.

මේ කාර්යබහුල බව පවුලේ අයට ගැටලුවක් නෙමයිද?

මට ඉන්නෙ අම්මා, තාත්තා සහ මල්ලි. හරිම පුංචි පවුලක් මට තියෙන්නෙ. මේ අයගේ තේරුම් ගැනීම සහ එයාල මට දෙන සහයෝගයත් එක්ක තමයි මේ තරම් නිදහසෙන් කලාකටයුතු වලට එකතු වෙන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ.

කෙටි කාලයකින් ලැබුණ ජනප්‍රියත්වය කොහොමද ඔබට දැනෙන්නෙ?

ඒ ලැබුණු ජනප්‍රියත්වය ගැන නිහතමානීව සතුටු වෙනව. මම කොච්චර රඟපෑවත් වැඩක් නෑ ප්‍රේක්‍ෂකයො මට ආදරය කළේ නැත්නම්. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.

ඔබේ කොණ්ඩය ගැන බොහෝ දෙනා කතා වෙනව?

මං හිතන්නෙ ඒක මට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියල. මටත් වඩා මගෙ කොණ්ඩය ප්‍රේක්‍ෂකයන්ගෙ ලොකු අවධානයක් ගන්න සමත්වෙලා තියෙනව.

චරිතයක් වෙනුවෙන් කපන්න වුණොත්?

ඒ ගැන නම් දෙපාරක් හිතන්න වෙනව. ඒ වෙනුවෙන් නිසි මුදලක්, නිසි අගැයීමක් ලැබෙනව නම් මම ඒ දේ වුණත් කරන්න සූදානම්. නමුත් මම හිතනව ලංකාවේ කලාව තුළ එවැනි එවැනි ලොකු තීරණයක් ගත්තත් ඒ වෙනුවෙන් නිසි වටිනාකමක් ලැබෙන එකක් නැහැ කියල.

මේ වන විට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවද?

මෙහෙමයි, අපි අපි වෙනුවෙන් ඉල්ලන වටිනාකම ලැබෙනව. ඒ වෙනුවෙන් පෞද්ගලිකව මම සතුටු වෙනව. එතනින් එහාට ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

ආදර යෝජනාත් එනව?

ඔව්, ආදර යෝජනා එනව. නමුත් මගේ කාර්යබහුලත්වයත් එක්ක ඒ ගැන හිතන්නත් වෙලාවක් නැහැ.

මහේෂ් එදිරිසිංහ
ඡායා – කුසල් රංගනාත්

advertistmentadvertistment
advertistmentadvertistment