සුනඛයන් 1500කට තුන්වේලම කන්න දෙන සුනඛ ගෙදර කතන්දරය

825

මේ පුදුම නිවස පිහිටා ඇත්තේ ගාල්ල, මිහිරිපැන්නේ තල්පේ ගම්මානයේය. ඇතැම් සුනඛයෝ මහ හයියෙන් උඩු බුරන්නට වූහ. සමහරු බුරන්නේ යම් සංගීත රාවයකට දැයි මට සිතේ. සමහරු එක යායට එක රෑනට වැලි මිදුලේ සෙල්ලම් කරති. දුවති. පනිති. පිණුම් ගසති. එය නම් අපුරු වූ සෙල්ලමකි. සමහරු කූඩුවලට වී නිදහසේ නිදියති. සමහරු ඇස් කන් අයාගෙන නිදහසේ සිටිනු දැකිය හැකිය. එක්වරම මේ සුනඛයෝ සියල්ලෝම කෑ කෝ ගැසීම උඩු බිරීම ඔවුන්ගේ ගාලගෝට්ටිය නතර කළහ. මේ නිහැඬියාවට හේතුව වූයේ සුනඛයනගේ උදෑසන ආහාර වේලාවට නාද කරන්නාවූ සීනූ නාදය මේ සුනඛ ගෙදර සුනඛයෝ හොඳින් දැන හැඳිනගෙන සිටින නිසාය.

මහා කල්දේරම්වල බත්, මස්, මාළු, එළවළු ආදි කොට ඇති ව්‍යංජන ඉදෙන රසය ඇත්තටම සුවඳය. රසවත්ය. මේ ගෙදර මහා කුස්සියේ උයන බාස්ලා රසට කෑම උයති. ඒ නේවාසිකව සිටින සුනඛයන් පන්සියකට අධික පිරිසකට හා නිවසේ එක් පසෙක සිටන මහලූ සුනඛයන්ටද, ප‍්‍රතිකාර ලබමින් සිටින සුනඛයනගේ උදයේ ආහාරය එසේ සකසමින් ඇත. මේ කෑම රසයට දෙවැනි නොවූ අතුරු පස ද ඒ මහා කුස්සියේ මුළුතැන්ගේ රසටම පිළියෙල වෙමින් තිබේ.

මේ අතර සුනඛ ගෙදර කුස්යේ උයන ආහාර වාහන කිහිපයකින් මඟතොට අයාලේ යන සුනඛයන්ට ද ලබා දෙන්නට ජංගම සුනඛ ආහාර සපයන වාහන ද සැරසී සිටින්නේ මඟ තොටේ පාරවල ගෙවල් අසල සිටින සුනඛයන්ට ආහාර ලබා දෙන්නටය. මේ පිරිස එනම් මහ මඟ සිටින පිරිස දහසකට අධික ය.

මඟතොටේ සිටින සුනඛයෝ උදයේ ආහාරය ගන්නට කෑම වාහනය එනතුරු බලා සිටිති. මේ සුනඛ ගෙදර මාසකට ආහාර සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකය. නැතිනම් යුරෝ 30,000කට අධික ය.

මේ සුනඛ ගෙදර තවත් පිරිසකි. ඒ අයාලේ යන ගවයන් හා මසට විකිණෙන ගවයන්ට අභය දානය දී මේ සුනඛ ගෙදර විශාල වත්තේ ඒ අයටද ගව ආහාර ලබා දෙති. ඇති දැඩිකර ගන්නා ආකාරය ද සුන්දරය. මේ අයගේ දිනපතා තණකොළ, පිදුරු, පුනක්කුවලට අමතරව ගවයන්ට පෝෂණයෙන් සපිරි ආහාර සපයන්නට වැයවන මුදල රුපියල් දස දහසකට(10000) අධිකය.

අපේ කතාන්දරයේ සුනඛ ගෙදර තවත් පිරිසකි. ඒ බළලූන්ය. මේ අයට ද කදිම නිවහනක් වූ සුනඛ ගෙදර පෙර කී පරිදි බළලූන් පූසන් ද නිදහසේ ජීවත් වේ. මේ සුනඛ ගෙදර මේ රාජකාරි සිදු කරන්නට පමණක් සියයකට (100) අධික පිරිසක් සේවය කරන ආකාරය දැක ගත හැකිය.

සුනඛයන් 1500කට තුන්වේලම කන්න දෙන සුනඛ ගෙදර කතන්දරය

සුනඛ ගෙදර එක් පසක සුපිරි වායු සමනය කළ රෝහලක් ද වේ. ඒ සුනඛ, බළල් හා ගවයන්ට නිරතුරුව ප‍්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරු පස් දෙනෙකුගේ සේවාවයි. ඔවුන් මෙහි දිනපතා සිය රාජකාරිය ඉටු කරති. දිනපතා මේ සුනඛ ගෙදර ඇත්තන්ගේ අසනීපවලට සහන ලබා දෙන්ට මේ අය අමතක නොකරති.

මෙයට අමතරව, මහ මඟ දී වැටී තුවාල වී නැතිනම් කාත් කවුරුත් නැතිව සිටින, එසේ නැති නම් අසරණව ඉබාගාතේ යන සුනඛයන්ට, ගවයන්ට, බළලූන්ට ප‍්‍රතිකාර කරන රෝහල් පරිශ‍්‍රය තුළ සැත්කම් සිදු කරන්නේ අපේ කාලයේ දේශීය හෙළ වෙද දෙවිවරුය. ඒ අය සත්භාවයෙන් මේ සුනඛ ගෙදර සේවය කරන්නේ 2007 වර්ෂයේ සිටි ය.

මේ සුනඛ ගෙදර ප‍්‍රධාන වෛද්‍ය චමිත් නානායක්කාර මහතා මෙසේ කීය.

සතුන්ට කන්න බොන්න දෙන්න. සතුන්ට ප‍්‍රතිකාර කරන්නේ අපි නොමිලයේ. මුදල් අය කරන්නේ නෑ. සුනඛයන් දරුවන් වගේ බලා ගන්න සුරතල් සතුන් අහිංසකයි. එයාලට අසනීපයක් වූ විට බල බල ඉන්න එපා. චර්ම රෝගයක් හෝ වෙනත් රෝගයක් හැදුණු ගමන්ම බලබල ඉන්න එපා අපේ ආයතනයට ගෙනත් දෙන්න නැතිනම් ළඟම සිටින පශු වෛද්‍යවරයාට එයාව පෙන්වන්න. රෝගය දරුණු වෙනකම් ඉන්න එපා. ඒ සතුන්ටත් අයිතිවාසිකම් තියනවා.

වර්තමාන ආණ්ඩුව ගෙන ඇති වැදගත් පියවර රැසක් තියනවා. සුනඛයන්ගේ ආරක්ෂාවට මෙය මම හිතන්නේ සත්ව සංහතියටම කරන සැලකීමක් ලෙසයි දකින්නේ. සුනඛයන් ආරක්ෂා කරන්නට රජය ගෙන යන වැඩසටහන මම අගය කරනවා. එයට රුකුලක් වශයෙන් අපි මෙම ආයතනයෙන්ද මහා සේවාවක් කරනවා. රජයට බරක් නැතිවයි මෙය සිදු කරන්නේ. අපට සෞඛ්‍ය අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙනවා. අප ඇගයීමටද ලක් කර තියනවා.

සැත්කම් කරන්නට, තුවාලවලට බෙහෙත් දමන්නට, අත් පා කැඩුණු සතුනට ප‍්‍රතිකාර සිදු කරනවා. අපි හරි කැමැත්තෙන් මේ සද් කටයුත්ත සිදු කරනවා. මේ ස්ථානයෙන් අසනීප වූ සුනඛයන් සුවපත් කර සුනඛයන්ට, පූසන්ට ආදරය ඇති අයට මේ සුවපත් වූ නිරෝගි වූ අය තම නිවසට රැගෙන ගොස් හදා ගන්නට ද අවස්ථාවක් තියනවා. කැමැති නම් ඒ අයට මේ සතුන් රැගෙන යන්නට අවස්ථාව ලබා දී තියනවා. ඒ සඳහා කිසිදු මුදලක් අප අය කරන්නේ නෑ.

අප මේ ආයතනය 2007 දී ආරම්භ කළා. සතුන්ට ආදරය කරන සතුන්ට කරුණාව දක්වන විශාල පිරිසක් රට පුරා ලොව පුරා සිටිනවා. මේ පිරිස් තමයි මේ අපේ ගෙදර එක්ක සම්බන්ධ වී කටයුතු කරන්නේ. සතුන්ට ආදරය කරන දෙස් විදෙස් ජීවත්වන පුහුණු වන හා මේ සඳහා කැමැත්තක් දක්වන වෛද්‍ය සිසු සිසුවියන් පිරිසක්ද අප මේ සුනඛ ගෙදර වෛද්‍ය අංශයට අනුයුත්තව සේවය කරනවා. පුහුණුවද ලබා ගන්නවාට අමතරව, අපට ඒ පුහුණු වෛද්‍ය සිසුන්ට මෙය මහා පිනක්. අත්දැකීමක් පළපුරුද්ක් ඇති කරනවා. ඇති වෙනවා. විවිධ රටවල සත්ව වෛද්‍ය සිසුන් ද මෙහි සිටිනවා.

නමුත්, අපෙන්ගෙන යන සතුන් සම්බන්ධයෙන් නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට සොයා බලන්නට ද අප අමතක කරන්නේ නෑ.

මෙයට අමතරව, අප ආයතනය තුළින් සුනඛයෙක් අරගෙන ගිහින් නිවසේ හදා වඩා ගන්නට වෙනත් වූ ක‍්‍රමවේදයක් ද තියනවා. අප මේ නිවසේ පසුවන නිරෝගී සතුන් සුනඛයන් රැගෙන ගොස් හදා ගන්නවා නම් එක සුනඛයෙක් හට අපි රුපියල් හත් දහසක් (7000) මුදලක් ලබා දෙනවා. මේ වැඩ සටහන මෙවන විට අප රට පුරා ක‍්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා වයසක, තරුණ පිරිසගෙන් මහා උනන්දුවක් තියනවා. ලොකු ඉල්ලූමක් මේ වැඩසටහනට තියනවා.

සුනඛයන් 1500කට තුන්වේලම කන්න දෙන සුනඛ ගෙදර කතන්දරය

වයස අවුරුදු පනහ පැන්න අයට නිදහසේ ගෙදර සිටින පිරිස්වලට මේ ආකාරයෙන් අප ගෙදරින් සුනඛයෙක් අරගෙන ගිහින් හදා වඩා ගන්නට හැකියාවක් තියනවා. එය වෙනස් වූ වැඩසටහනක්. මේ නිවසේ සිටින සෑම සතෙකුටම අදාළ ලිපි ගොනුවක් වෛද්‍ය වාර්තාවක්, ආදි සියල්ලම අප සතුයි. සමහරු කූඩුවල හදනවා. සමහරු නිදැල්ලේ සිටිනවා. මිනිසුන් වාගේ මේ සතුන් ගහ මරා ගන්නේ නෑ. ආදරය, කරුණාව මේ අයට අපි ලබා දෙනවා. මහ පාරේ යන්නත් බැරිව, වකුටූ වූ මහලූ වූ, තුවාල වූ, අවලස්සන, සමේ රෝග හැදුණු සුනඛයන්, පූසන් අප මෙම ගෙදරට ගෙනත් ප‍්‍රතිකාර කර සුවපත් කරනවා. මේ අය දැන් යෝධයෝ වගේ හැඩිදැඩි නිරෝගි අය බවට පත් කර නඩත්තු කරගෙන යනවා. මෙය ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මහා වගකීමක් දරන්න වෙනවා.

රටේ සුනඛයන්ට, පූසන්ට සමහර අය වධ දෙනවා. හරියට සලකන්නේ නෑ. හදනවට සුනඛයා පූසා හදනවා. කෑමක් බීමක් හරියට නෑ. ඒ සතුන්ටද ජීවිතයක් නිදහසක් තියනවා. සමහර ගෙවල්වල සතුන් ඇති කරනවා. නමුත්, නිදා ගන්නේ අගුපිල්වල. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. මේ අයට කූඩුවක් සකස් කර ඒ අය ගැන සොයා බලා, නිසි ප‍්‍රතිකාර ලබා දෙන්නට උවමනායි. පෝෂණ ආහාර ලබා දෙන්නට උවමනායි. ඒ නිසා මේ සුනඛ, බළල් ආදි සතුන්ට තම දරුවන් වාගේ බලා ගන්න කියලා අපි ලොව, රට පුරා සිටින සතුනට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සතුන් නඩත්තු කරන එක, ඒ අයට කූඩු සකස් කරන්න, නිදැල්ලේ සිටින අයට පහසුකම් සපයන්න, වෛද්‍ය ප‍්‍රතිකාරවලට, බෙහෙත්වලට,වෛද්‍ය උපකරණවලට, ජල, විදුලිය ආදී පොදු පහසුකම් සපයන්න නඩත්තු කරන්න මහා වියදමක් වැය වෙනවා.

දුක හිතෙන කතාන්දරයක් කියන්නම වෙනවා. සති ගණනාවක් කන්න නැතුව මැරෙන්නට සිටින සුනඛයෙක් ගැන අපිට ආරංචි වුණා. ඒ ගෙදර අයටත් කන්න බොන්න නෑ. ඉන්න හිටින්න නිසි තැනක් නෑ. ගෙදරත් ගෙදර අයත් දුප්පත්. අපි ගිහින් ඒ ගෙදර සුනඛයාව අරගෙන ඇවිත් ප‍්‍රතිකාර කර නාවලා ආහාර දී සුවපත් කළා. එයාට අපි නමක් දැම්මා අස්කාන් (ASKAN) කියලා. එයාට දැන් වයස අවුරුදු පහයි. එයා තමයි අපේ මේ ගෙදර ලස්සනම හුරුබුහුටිම සතා. එයා අපි අපේ සියයක් පමණ වූ කාර්ය මණ්ඩලය දැක්කාම ගරු කරනවා. අස්කාන් තමයි මේ අපේ නිවසේ සුරතලා. එයා අද නිදහසේ සතුටින් ජීවත් වෙනවා. එවැනි අස්කාන්ලා දහස් ගණනකට අපි පිහිට වී තිබෙනවා. යැයි චමිත් නානායක්කාර මහතා කීවේය. සුනඛ නිවසේ සේවය කරන නිලාන් ප‍්‍රියදර්ශන මහතා (42) මෙසේ කීය.

සතුන් නාවන්න, පහසුකම් දෙන්න, ආහාර දෙන්න, අසනීප වූ රෝගි වූ ප‍්‍රතිකාර ලබන සුනඛ, පුස්, ගව ආදි සතුන්ට කවන්න, පොවන්න, ඒ අයගේ පහසුකම් සපයන්න අපි මේ ගෙදර 100 ක් තරම් වූ පිරිස කටයුතු කරනවා. අපේ දරුවන්ට සලකන ආකාරයට, අපේ දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන ආකාරයට අපි මේ සද් කටයුත්ත සිදු කරනවා යැයිද හෙතෙම කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment