සුන්දර ආරුගම්බේ කොරෝනාවට යටින් දිවෙන අසුන්දර කතාව…..

1828

අරක්කු වෙනුවට  තේ කහට පිරුණු බෝතලයක් රුපියල් 5000ට දී  සුද්දන්ව අන්දයි…
 
ඇඳිරිනීතිය අස්සේ beachparty ජයටම…
 
දවසට පාටි 4..ක්…
 
ඇන්ටිජන් වලට බය සුද්දෝ හැංගෙති..
 
සමහර දිනවල  බියර් බෝතලයක්  රුපියල් 1000/-
 
බීච් පාටිවල ආතල්  ගන්න කොළඹින්,  නුවරින් පැමිණෙති..


ආරුගම්බ මුහුදු තීරය යනු ලොවම අතිශයින් ප‍්‍රසිද්ධියට පත් නැගෙනහිර පළාතේ තිබෙන සුන්දර මුහුදු තීරයකි. මුහුදු රළ මත ලිස්සා යෑමේ ක‍්‍රීඩාව හෙවත් සර්පින් සඳහා ලොව නන්දෙසින් විදෙස් ක‍්‍රීඩකයන්, වසර ගණනාවක සිට ආරුගම්බ මුහුදු තීරයට පැමිණෙති.

නමුත් කොරෝනා උවදුර නිසා මුළු ලොවෙහිම සෑම රටකම වාගේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙද්දී ආරුගම්බට ද සංචාරකයන් නොපැමිණි නිසා ජනතාව අන්ත අසරණ වී ව්‍යාපාරිකයන් ද නන්නත්තාර වන ලදී.

සුන්දර ආරුගම්බේ නිල්වන් සයුරට යටව ගිය අසුන්දර සහ ඇගේ කිළිපොලා යන බොහෝ දේ වසර ගණනාවක සිට සිදුවෙමින් තිබේ. ඒ අනාගතයේ ලොව දරුණුතම මුහුදු වෙරළ බවට පෙරනිමිති දක්වමිනි.

වසර තුනකට ඉහතදී ආරුගම්බේ බීච් පාටියකට හොරෙන් රිංගු අප අරුගම්බේ තිත්ත ඇත්ත ලොවටම හෙළි කරන්නට වීමු. ලොව නන් දෙසින් පැමිණෙන ඇතැම් විදේශීය කතුන් හට ඔවුන් බොන බීම වීදුරුවට මත් පෙති දමා සිහි විකල් කර සමූහ දූෂණයට ලක්වන අයුරු අපි අනාවරණය කෙරුවෙමු.

ඒවා පොලිස් පොතේ ලියවෙන්නේද නැත. සමහර සුද්දියන්ට මොනදේ වුණත් වගේ වගක් නැත. සමහරු පොලිසියට ගොස් කරදර විඳින්නට අකැමැතිය. තොපේ රටට ආයේ එන්නේ නැහැ යනුවෙන් පවසමින් තවත් පිරිසක් යන්නේ ලංකාවටම බැන වදිමිනි.

සුන්දර ආරුගම්බේ කොරෝනාවට යටින් දිවෙන අසුන්දර කතාව.....

ගංජා කට්ටයේ සිට අයිස් ඇතුළු නා නා මාදිලියේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳවද බොහෝ දේ හෙළි කෙරුවෙමු. එම සංචාරයේදී මත්ද්‍රව්‍ය අලෙවි කරනා ස්ථාන දහඅටක් හඳුනා ගැනීමට අපට හැකියාවක් ලැබුණි. එවකට අම්පාරේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නුවන් වෙදසිංහ මහතා මේ ජාවාරම් මැඬපැවැත්වීම සඳහා සැබෑ උත්සාහයක් ගත්තද ඊට පහළින් සිටි ඇතැම් පොලිස් නිලධාරීන් පොලිසිය බේරාගැනීමට කටයුතු කිරීම නිසා ආරුගම්බේ මත් ජාවාරම නතර කිරීමට නොහැකි වූහ. මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලනවා වෙනුවට මාධ්‍යයට තොරතුරු දෙන්නේ කවුරුන් දැයි සොයන්නට වූහ. සල්ලි වලට මාධ්‍ය සටහන් තබන බව පවසමින් අභූත චෝදනා ඉදිරිපත් කරමින් ඇඟ බේරා ගැනීමට ඇතැම් පොලිස් ලොක්කෝ නින්දිත ආකාරයට කටයුතු කරන්නට වූහ.

 එවකට අම්පාර කලාපය භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දමන්නට සැබෑ ලෙසම අවංකව කටයුතු කළ නිලධාරියෙකි. එම නිසා ඇතැම් නිලධාරීන්ට පැදුරු කොට්ට අකුලාගෙන ස්ථාන මාරු ලබන්නට ද සිදුවිය. ඒ ආරුගම්බේ බීච් පාටිවල පහස විඳිනට යෑම නිසාවෙනි.

 සෑම අවස්ථාවකදීම මත්කුඩු ජාවාරම හා අරුගම්බේ මත් පුරයක් බවට පත් කරමින් පැවැති බිච් පාටි නතර කිරීමට බොහෝ ආරක්ෂක අංශ නිලධාරීන් නිසි පියවරක් නොගෙන අන්ධයන්, ගොළුවන්, බිහිරන් සේ සිටීම අපි එදා දැඩි සේ විවේචනය කෙරුවෙමු.

 එදා අරුගම්බේ ඇතැම් හොටෙල් කරුවන් හිතූ හිතූ පරිදි සිය බල පරාක‍්‍රමය පතුරමින් කටයුතු කළේ කුමන කරුණක් නිසාද යන කරුණ දන්නෝ දනිති. බොහෝ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු මැති ඇමැතිවරු අරුගම්බේ ජාවාරම්කාර හෝටල් සමග ගජමිතුරුව සිටිති. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ? එලිවෙන තෙක් පැවති බීච් පාටි නවතා දමන්නට අහිංසක පොලිස් නිලධාරියෙකුට කිසිදු ඉඩක් ලබන්නේ නැත. ඔවුන්ට සිදුව තිබෙන්නේ බීච් පාටි පවතින ස්ථානය ආසන්නයේ බකන්නිලාගෙන සිටීමටය. ජාවාරම්කාර ඇතැම් හෝටල්වල හිමිකරුවන් කටයුතු කරන්නේ සර්වබලධාරී දෙවියන් විලසිනි. ගමේ කොල්ලන් හට අරක්කු බෝතලයක් දෙකක් දී, ගංජා කට්ටක් හෝ මත් කුඩු දී අල්ලා ගත් පසු ඕන දහ පදුරා වැඩක් කිරීමට ගමෙන් කිසිදු විරෝධයක් ඇතිවන්නේද නැත. එසේ අසික්කිත වූ අතීත මහා පුරාවෘත්තයක් ආරුගම්බේ සුදුවන් රළ අතර සැගව තිබේ.

 අපේ‍්‍රල් මස සිට සැප්තැම්බර් මස දක්වා ආරුගම්බට සංචාරකයන් පැමිණෙන කාලසීමාවයි. වෙනදා අතිවිශාල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආරුගම්බේ පිරී ඉතිරි ගියත් විදේශීය සංචාරකයන් හාරසියයකට ආසන්න පිරිසක් මේ වන විට පැමිණ සිටීම නිසා අරුගම්බේ සංචාරක ව්‍යාපාරය යන්තමින් හෝ පණ ගසන්නට විය. එසේ වූ සැණින් ආරුගම්බේ සියලූ ගැටලූ විසඳී නැත. නැවතත් අද පැරණි මත්ද්‍රව්‍ය මාෆියාව සහ බීච් පාටි ජාවාරම ආරම්භ වෙමින් පෙරකී අසික්කිත නින්දිත වැඩපිළිවෙළ කරලියට පැමිණෙමින් තිබේ.

 ආරුගම්බ පදිංචි අයකු මෙලෙස ‘ඉරිදා දිවයින’ට අදහස් දැක්වූවේය.

 ලංකාවේ තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය යටතේ විවාහ මංගල උත්සව, ප‍්‍රිය සම්භාෂණ වැඩසටහන් තහනම්. ඒත් ආරුගම්බට එම නීතිය වලංගු නෑ. එක දවසේ ඒ කියන්නේ 19 වැනිදා ආරුගම්බේ බීච් පාටි හතරක් තිබ්බා. ඒ වගේ හැමදාම වගේ ආරුගම්බේ තැන් තැන්වල බීච් පාටි තිබෙනවා විස්කි පොයින්ට් වලත් සමහර හෝටල් වල බීච් පාටි තිබෙනවා. එක් බීච් පාටියක ලංකාවේ අයයි සුද්දෝයි 50 කට වැඩියෙන් ඉන්නවා. සමහර වෙලාවට සීයට වැඩියෙන් ඉන්නවා. බීච් පාටි නම වෙනස් කරලා ලයිව් මියුසික් කියලා තමයි දැන් මේ බීච් පාටි තියන්නේ. ගංජා, හසිස් ඉඳන් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන්නට ඔවුන්ට ඉඩ නිරන්තරයෙන්ම ලැබෙනවා. කොරෝනා උවදුර අස්සේ නැවතත් සංචාරක ව්‍යාපාරය අරුගම්බේ පොඞ්ඩ පොඞ්ඩ ආරම්භ වෙද්දී ඊට යටින් මත්ද්‍රව්‍ය ජාවාරමත් ආරම්භ වෙනවා. බීච් පාටි නිසා කොරෝනා බෝවෙන්නේ නැද්ද? සමහර සුද්දෝ පණ්ඩිතයි. අපේ රටේ මාස්ක් දන්නෑ. බෙහෙත් විදලා ඉන්නේ කියලා මාස්ක් නොදා ඉන්නවා. සමහර සුද්දන්ටත් කොරෝනා හැදිලා තියනවා. ඒ නිසා ඇඳිරි නීතිය දාලා අඩුකරමින් යන කොරෝනා වසංගතය ඉදිරියේදී නැවතත් වැඩි වෙන්න පුළුවන් ලෝකයේ තිබෙන දරුණු කෝරෝනා ප‍්‍රභේද පැතිරෙන්න පුළුවන්.

 ඇන්ටිජන් කරනවා කියලා ආරංචි වෙද්දි සුද්දෝ හැංගෙනවා. ඔවුන් නැවතිලා ඉන්න හෝටල් වලට ගිහින් සුද්දන්ව නිරෝධායනය කරන්න ඕන. ලංකාවට සංචාරකයන් ගෙන්න ගන්න ඕන කියල සුද්දන්ට ඕනි විදිහට ඔවුන්ට ඕනි මත්ද්‍රව්‍ය දීලා පිස්සු නටන්න දෙන්න බෑ. අපේ රටේ නීතියක් තිබෙනවා. මිනිස්සුන්ට ඕනි විදිහට වෙනස් කරන්න බැහැ. සල්ලි හොයන්න ඕන කියලා ජාවාරම්කාරයන්ට ඕනේ විදිහට මේවා පාලනය කරන්න දෙන්න බැහැ යනුවෙන් ඔහු පවසා සිටින්නට වූයේය.

 මේ ආකාරයට අපට ආරුගම්බේ බොහෝ දෙනකු විවිධ අදහස් දැක්වුවත් ඔවුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වෙතැයි බයෙන් ඔවුන්ගෙන් නම් සහ නම් ගම් හෙළි නොකරන ලෙස අපෙන් ඉල්ලා සිටින්නට වූහ.

සක් නද සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නාමල්තලාව ශෛලබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් අරුගම්බෙ වත්මන් තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් දැක්වූහ.

සුන්දර ආරුගම්බේ කොරෝනාවට යටින් දිවෙන අසුන්දර කතාව.....

ආරුගම්බේ මීට වසර දෙක තුනකට කලින් බොහෝ විනාශකාරී දේවල්, මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිද්ධ වුණා සංචාරක ව්‍යාපාරය කොරෝනා වසංගතයේ නිසා කඩන් වැටීමත් සමඟම ජන ජීවිතය මුළුමනින්ම අඩාල වුණා. හෝටල් කර්මාන්තය බිඳ වැටුනා. ජනතාව අසරණ වුණා. මේ වෙද්දි නැවතත් සංචාරකයන් ටික ටික පැමිණ ජන ජීවිතය ටිකින් ටික ගොඩ එන්නට වුණා. කොහොමද නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ දිනපතාම වාගේ ආරුගම්බෙ බීච් පාටි මහ රැ වෙනකම් නෙවෙයි අලූයම වෙනකම් තිබෙන්නේ.

 මේවට නුවර ඉඳන් කොළඹ ඉඳන් මිනිස්සු එනවා. උද්ඝෝෂණයක් කළා කියලා අපි දැක්කා කට්ටිය අල්ලගෙන යනවා. ඒ බඩු ටිකක් විකුණ ගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි බීච් පාටි වලට නුවරින් කොළඹින් මිනිස්සු එනවා. නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ මෙහේ ඇවිත් හොටෙල්වල සුද්දෝ එක්ක පාටි දාලා ඩෙඟා නටනවා. නිරෝධායන ඇඳිරි නීතිය දාලා දුප්පත් අයට ගෙයින් එළියට යන්න එපා කියලා මහ එවුන් යනවා රටපුරා. ගිහින් කොරෝනා පතුරනවා.

 බිච් පාටි නතර කරන්න ආරක්ෂක අංශ නිලධාරීන් සහ පී. එච්. අයි. මහත්තුරු නිසි පියවරක් ගන්නේ නෑ. ඒ නිසා එන්න එන්නම බිච් පාටි ප‍්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය ජයටම සිද්ධවේවි. මත්ද්‍රව්‍ය ජාවාරම තව තවත් වැඩි වේවි.

 මේ වෙනවිට ආරුගම්බේ රුපියල් 25000කට දීපු කාමර අද රුපියල් දෙදහස් පන්සියයකට සංචාරකයන්ට දෙනවා. ඒවායේ මත්පැන් පවා දෙන නිසා සංචාරකයෝ එම ස්ථානවලට යනවා. රුපියල් 5000ට, 2500 දීපු කාමර තිබ්බ මධ්‍ය පරිමාණ සංචාරක ආයතන හිමිකරුවන්ට රුපියල් 1000ට 1500 කට කාමරයක් සංචාරකයන්ට දෙන්න බැරිවෙලා අන්ත අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අසරණ වෙලා තිබෙන මධ්‍ය පරිමාණ සහ සුළු හෝටල් හිමියන් ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.

 ලොකු අයට බීච් පාටි වලට ඉඩ දෙද්දී පුංචි පුංචි හෝටල් හිමිකරුවන්ට පොලිසිය සහ පී. එච්. අයි. මහත්වරුන් ගිහිල්ලා නිරෝධායන ඇඳිරි නීති අස්සේ කඩ අරින්න එපා එපා කියලා නීති දානවා. එනිසා නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ හැම දෙනාටම සාධාරණව කටයුතු කරන්නේ කියා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පූජ්‍ය ගම්පහ නාරද හිමියන් ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

 ආරුගම්බේ තවත් අයෙකු මෙසේ අදහස් දැක්වූවේය.

 මේ වෙද්දි සංචාරකයෝ තරමක ප‍්‍රමාණයක් පැමිණි තිබීම සතුටට කරුණක්. සෞඛ්‍ය නීති රීති මාලාවට අනුව සංචාරකයන් අරුගම්බේ සහ ඒ අවට නරඹන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ ආකාරයෙන් කටයුතු නොකර බීච් පාටි දමමින් කටයුතු කිරීම තුළ කොරෝනා වෛරසය දැඩි සේ ව්‍යාප්ත වීමේ බරපතළ අවදානමක් ඇති වෙමින් තිබෙනවා. පසුගියදා බාර් වහපු දවස්වල සමහර කට්ටිය තේ කහට පුරවල අරක්කු කියලා සුද්දන්ට රුපියල් 5000 ට බෝතලේ වික්කා. විවිධ උපක‍්‍රම යොදලා සුද්දන්ගෙන් සල්ලි ගසාගෙන පිරිස් ඉන්නවා. සමහරු බිත්තිවල තීන්ත ආලේප කරපුවා බ්ලේඞ් එකකින් හූරලා කුඩු කියලා විකුණනවා. මෙවැනි ජාවාරම් හරහා විදේශිකයන් රැවටීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. ඒ හරහා නැති වෙන්නේ ආරුගම්බේ කීර්තිය. ආරුගම්බ ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් කරන්න ඉඩදෙන්න එපා. බීච් පාටි නවතා දමා මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දමා ආරුගම්බේ සුන්දර පරිසරය වගේම සමාජ පරිසරයත් සුන්දර කරන්නට කටයුතු කළ යුතුයි. ආරුගම්බේ බීච් පාටි දාන්න හෝටල් තහනම් කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

 මාස ගණනක් තිස්සේ සංචාරකයන් නොපැමිණි නිසා අන්ත අසරණ වුණ කුඩා පරිමාණ හෝටල් හිමියන් ද මීටරයක් පරතර තබාගෙන කීයක් හෝ උපයාගන්නට විදේශිකයන්ට ආහාරපාන සපයද්දි ඔවුන්ට පමණක් නීති රීති නිසි පරිදි ක‍්‍රියාත්මක කරන්නට බලධාරීන් උත්සාහ කරමින් තිබේ.

 මහා පරිමාණ හෝටල්වල ලැගුම් ගන්නා විදේශිකයන් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් නොකිරීම නිසාත් එම හෝටල් සේවකයන් නගරයට බඩු මිලට ගැනීමට යෑමේදී ඔවුන් හරහා කොරෝනා ව්‍යාප්ත වීමට ඉඩ තිබෙන බව ප‍්‍රදේශවාසීන් බියට පත්ව සිටිති.

 පොතුවිල් පොලිසියේ මීට පෙර සිටි තරු නිලධාරියෙකුට අයත් හෝටල් පවා ආරුගම්බේ තිබෙන බවද මේ වනවිට පොතුවිල පොලිසියේ එක් පොලිස් නිලධාරියෙකු ඒවා රැක බලා ගනිමින් කටයුතු කරන බවත් ප‍්‍රදේශවාසීන් අප සමග පවසා සිටින්නට වූහ.

 පොතුවිල පොලිසියේ මීට පෙර සිටි ඇතැම් නිලධාරීන් ජාවාරම්කරුවන් සමග සමීපව ඇසුරු කිරීම නිසා අරුගම්බේ බීච් පාටි සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නිසි සේ ක‍්‍රියාත්මක නොවීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබූ කරුණකි.

 පොතුවිල් පොලිසියට අලූත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් පැමිණ තිබේ. පොතුවිල පොලිසියේ සිටින ජාවාරම්කරුවන්ට සම්බන්ධ නිලධාරීන් තමන් දක්ෂ නිලධාරීන් බව අගවා ඇතැමුන්ගේ නිර්දේශ මත වත්මන් ස්ථානාධිපතිවරයාගේ හිත දිනා ගෙන කටයුතු කළහොත් ආරුගම්බේ තත්ත්වය වෙනස් කරන්නට බැරි වෙනු ඇත. එම නිලධාරීන්ගෙන් දැලට හසු නොවී සාධාරණව සහ නීතිගරුකව කටයුතු කිරීමට වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයා කල්පනාකාරී විය යුතුය. ජාවාරම්කරුවන් ඔහුව අල්ලා ගන්නට නොයෙක් උපක‍්‍රම යොදා දොල පිදේනි දෙනු ඇත. ඒවාට හසු නොවී කටයුතු කිරීම වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ යහපතට හේතු වෙනු ඇත.

 අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා ඉතා දක්ෂ සහ අවංක නිලධාරියෙක් ලෙස කීර්ති නාමයක් හිමි අයෙකි. එනිසා නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ ජයටම යන බීච් පාටි නවතා දමා මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දමන්නට කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනකු දැඩි විශ්වාසයකින් බලා සිටිති.

 සංචාරකයන් හට ඕනෑම වර්ගයේ මත්ද්‍රව්‍ය හිතු මනාපෙට ලබා ගන්නා පුරවරයක් යන මතය බිඳ දමා පැමිණෙන විදේශීය කතුන් හට නිසි රැකවරණ ලබාදී, බොන බීම වීදුරුවට මත් කුඩු දමා සමූහ දූෂණ සිදු නොකරන යහපත් සංචාරක පුරවරයක් කිරීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද?

 * සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment