සුනාමියට වසර 18යි – යළි නොම වේවා මෙවැනි විපත්

153

මිනිස් ජීවිත හතළිස් දහසකට වැඩි පිරිසකට ජිවිත අහිමි කරමින් කෝටි ගණනක දේපළ විනාශ කළ සුනාමියට වසරට වසර දහඅටකි. මියගිය දහස් ගණනක් අතරේ එදින කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු සංඛ්‍යාව එක් දහස් දෙසීයකට අධිකය. ඒවායින් තවමත් හඳුනා නොගත් මළ සිරුරු හාර සියකට අධික ප්‍රමාණයක් අක්මීමන සමූහ මිනී වළක තැන්පත් කර ඇත.

සුනාමියට වසර 18යි - යළි නොම වේවා මෙවැනි විපත්

සුනාමියෙන් මියගිය අය හඳුනා ගැනීම සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා මිහිදන් කිරීමෙන් පසුවද සිරුරු සිය ගණක් හඳුනා ගැනීමට හැකිවිය.

හදිසි මරණයකදී අඩුම වශයෙන් සාක්කි දෙකක්වත් කැඳවා මරණ පරීක්ෂණයක් සිදු කිරීම කළයුතු වුවද සුනාමියෙන් හතළිස් දහසකට ආසන්න පිරිසක් දියේ ගිලී මියගියත් වෙනදා මෙන් ඒ එකකටවත් මරණ පරීක්ෂණ හෝ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූයේ නැත.

සුනාමියට වසර 18යි - යළි නොම වේවා මෙවැනි විපත්

එදිනම රෝහලට පැමිණි ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ මළ සිරුරු දෙසියකට ආසන්න සංඛ්‍යාවක් ගෙන ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දන්වා ඒවා මිහිදන් කරන ලද අතර පසුව පැමිණි පිරිස තවත් මළ සිරුරු පන්සිය පනහක් පමණ හඳුනාගන්නා ලදී. එම මළ සිරුරු වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන ලද අතර තවත් මළ සිරුරු හාරසිය පනහක් හඳුනා ගැනීමට ඥාතින් කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

සුනාමියට වසර 18යි - යළි නොම වේවා මෙවැනි විපත්

මේ නිසා එම මළ සිරුරු සමූහ මිනී වළක තැන්පත් කරන ලදී. එහෙත් ඒවා තැන්පත් කරනු ලැබුවේ ඡායාරූප ගෙන ලේඛනගත කිරීමෙන් පසුවය. එසේ ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනය සඳහා තැබීමෙන් පසු පැමිණි ඥාතීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් තම ඥාතීන් හඳුනා ගන්නා ලදී. මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට පැවරුනේ බරපතළ වගකීමකි.

සුනාමියට වසර 18යි - යළි නොම වේවා මෙවැනි විපත්
කරාපිටිය රෝහලේ ප්‍රධාන
විශේෂඥ අධිකරණ වෛද්‍ය
නිලධාරි රොහාන් පී. රුවන්පුර

දහසකට අධික මළ සිරුරු සංඛ්‍යාවක පරීක්‍ෂණ කටයුතු මෙහෙයවූ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර මහතා එදින පැවරුණ බරපතළ වගකීම පිළිබඳ මෙසේ විස්තර කළේය “සුනාමියෙන් සිදුවූ සියලුම මරණ හදිසි මරණයි. එනිසා ඒවාට මරණ පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා කරාපිටිය රෝහලට වැඩිපුර හදිසි මරණ පරීක්‍ෂණවරුන් ගෙන්වා ගත්තා. විශාල මළ සිරුරු ප්‍රමාණයක් එකවර ගෙනා නිසා ඒවා හඳුනා ගත් අයට ඉක්මනින් නිදහස් කළා. ඒවා කපා පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූයේ නැහැ. නමුත් දින ගණනකට පසුව ලැබුන ඒවා කපා පරීක්‍ෂා කළා.

මළ සිරුරු පන්සිය පනහක් විතර නිදහස් කළාට පසු හාරසිය පනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළ සිරුරුයි. ඔවුන්ගේ දෙමවුපියන් දෙදෙනාම මිය ගිහිල්ලා. මෙතරම් මළ සිරුරු විශාල ප්‍රමාණයක් තබා ගැනීම අපට ප්‍රශ්ණයක් වුණා. එතරම් මළ සිරුරු ප්‍රමාණයක් තැබීමට අධිශීතකරණ නැති නිසා අයිස් ගෙනැවිත් දැමීමට බැලුවා.

අයිස් කුට්ටි ගෙනැවිත් ලී කුඩු සමග කලවම් කොට පැය විසි හතරකට වරක් දැමිය යුතුයි. නමුත් අයිස් කම්හල් සියල්ලද විනාශ වී තිබුනා. ඊළඟට අපි බැලුව එම්බාම් කිරීමට. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් එම්බාම් කිරීමට රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් තරමට තිබුණේ නැහැ. එනිසා “ලයිට් එම්බාම්” එකක් කළා. එයින් මැස්සන් ඒම සහ පණුවන් ගැසීම වළක්වා ගැනීමට හැකි වුණා. මේ නිසා පැය හතළිස් අටක් දක්වා තබා ගැනීමට පුළුවන් වුණා.

කිසිම කෙනෙක් නොහඳුනන අයෙක් හැටියට මිහිදන් නොකිරීම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය හා වගකීම වන්නේ. එනිසා මළ සිරුරු ඡායාරූප ගතකර මිහිදන් කිරීමට මහෙස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබාගත්තා. සාමාන්‍ය ඡායාරූපවලින් හඳුනා ගැනීම අපහසු නිසා මළ සිරුරේ තිබූ ඇඳුම් සකස් කරල ඡායාරූප ගෙන වයස හැඩරුව උස අනුව ලේඛන ගතකළා. එයට අමතරව පැළඳ සිටි ආභරණ වෙනත් බාහිර ලක්ෂණ හා සන්තකයේ තිබූ දේවල් විවිධ කෝණවලින් ඡායාරූප ගතකළා. මෙහිදි විශේෂයෙන් පරණ කැලැල් පච්ච ආදිය ඡායාරූප ගතකළා. ඒ සඳහා ඉහළ තාක්ෂණික කැමරා පාවිච්චි කළා.

එපමණක් නොවෙයි ජාන පරීක්‍ෂණ සඳහාද සමහර මළ සිරුරුවල කොටස් ලබා ගත්තා. එය රුධිර සාම්පලම විය යුතු නැහැ. ඕනෑම සාම්ලයකින් ඩී. එන්. ඒ. පරීක්‍ෂණ කිරීමට පුළුවනි. එහෙත් එයට පළමු පියවරේ ඥාතීන් අවශ්‍යයි. ඒ කියන්නේ මව පියා හෝ සහෝදර සහෝදරියනුයි. සුනාමියෙන් අතුරුදන්ව තිබූ අයගේ සිරුරු සියයක් පමණ පසුව සොයා ගනු ලැබුවා. ඒවායේ කොටස් ආරක්ෂාකාරිව තබාගෙන සිටියා. නමුත් එම සාම්පල නරක් වී තිබූ නිසා වසර දහයකට පසු විනාශ කරනු ලැබුවා.

කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු තැබීමත් ප්‍රශ්නයක් වුණා. මළ සිරුරු එකපිට එක තියන්නේ නැහැ. එනිසා රෝහලේ එක කොටසක් වහල මළ සිරුරු පෙළට තැබුවා. මළ සිරුරු සමූහ මිනී වළේ වුණත් පිළිවෙළකට දැමිය යුතුයි. මේවා එහෙම දාන්න පුළුවන් වුණේ නැතත් අපි යැව්වේ පිළිවෙළටයි. පිළිවෙළකට දැමිය යුත්තේ ඒවා නැවත ගොඩ ගැනීමට අවශ්‍ය වුණොත් පහසුව සඳහායි.

මෙතෙක් ලොව සිදුවූ දරුණුම දුම්රිය අනතුර සිදුවුණේද තෙල්වත්ත පැරෑලියෙදියි. ඒ වගේම සුනාමිය අවස්ථාවේ මිනිස් සමාජයක සිදු නොවිය යුතු දේවල්ද සිදු වුණා. එදා වතුරට අහුවෙල පණ බේරාගෙන එන කාන්තාවකගෙ උදව්වට පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. වතුරේදිම ඔහු කිව්වලු ඔයාගෙ කරේ තියෙන මාලෙ (තැල්ල) වතුරට වැටේවි ගලවල මගේ අතට දෙන්න කියලා. ඒ ගෑණු කෙනා ජීවිත ආසාව නිසා තැල්ල ගලවල ඔහුගෙ අතට දීල තියෙනවා. ඊට පස්සේ ඔහු අර කාන්තාවගෙ ඔළුව අල්ලල වතුරෙ එබුවලු. යම් අවස්ථාවක එම කාන්තාවන්ගේ මළ සිරුර ගොඩ ගැනීමට සිදු වුණොත් ඒ සඳහා පහසුවටයි මළ සිරුරු පිළිවෙළකට තබන්නේ.

ලෝකයේ සමහර රටවල් මෙවැනි අවස්ථාවක අධිශීතකරණ ට්‍රක් රථ ලබා ගන්නවා. අපිට එහෙම පහසුකම් නැහැ. අවශ්‍යනම් සිද්ධිය වී පැය විසි හතරක් ඇතුළත ගුවන් මගින් ඒවා ගෙන්වා ගැනීමට හැකියාව තිබුනා. එම අධිශීතකරණ තිබෙන්නේ සෙන්ටිග්‍රේට් අංශක සෘණ දහනමයේ නිසා මළ සිරුරු වසර කිහිපයක් වුණත් තබා ගැනීමට පුළුවනි. මළ සිරුරක් වතුරේ තිබෙනවිට නරක් වෙන්නේ හෙමිනුයි. නමුත් ගොඩට ගත්විට දෙගුණයක් ඉක්මනට නරක් වෙනවා.

කෙසේ වෙතත් අප ගත් ඡායාරූප හාරසිය පනහ බලල සිරුර සීයක් විතර හඳුන ගත්තා. ඇඳ සිටි ඇඳුම්වලින් හඳුන ගත්තා. තවත් අයෙක් පැමිණ ඡායාරූප බලල ඉණේ බැඳ තිබුන පටියෙන් හඳුන ගත්තා. ඒ පටියේ යතුරු කැරැල්ලකුත් තිබුණා. සුදු ගවුමේ පැළඳ සිටි ලාංචනයකින් පාසල් සිසුවියක් හඳුනා ගත්තා. අතේ දමා තිබූ වළලු වලින් කුඩා ළමයෙක් හඳුනා ගත්තා. තවත් අයෙක් හඳුනා ගත්තේ කකුලේ තිබූ ලොකු තුවාලයකිනුයි. විදේශිකයෙකු හඳුනා ගත්තේ ඇඳසිටි කලිසමෙනුයි. විදේශික කාන්තාවක් හඳුනගත්තේ පච්ච කොටා තිබූ අකුරු වගයකිනුයි. ඒ වගේම ඉණේ බැඳ තිබූ හම් පටියකින් සිරුරේ තිබූ පච්චවලින් පැළඳ සිටි ස්වර්ණාභරණවලින් ආදියෙන් තවත් අය හඳුනා ගත්තා.

ඒ අයට මරණ සහතික නිකුත් කළා. කිසියම් අයෙකු මියගිය බවට ඥාතීන් විසින් මරණ සහතිකයක් ලබාගෙන සිටියදී එම තැනැත්තා අතුරුදහන් වී සිට නැවත පැමිණියහොත් එම මරණ සහතිකය අවලංගු කරනවා.

අපේ රටේ මරණ සහතිකයෙන් සැහීමට පත්වුණාට දියුණු රටවල් එහෙම සෑහීමට පත්වෙන්නේ නැහැ. එම රටවල් එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් වැය කරනවා අවසන් ගෞරව දැක්වීමට. එම පුද්ගලයා ස්ථිරවම මියගිය බව දැනගැනීමට ඔවුනට අවශ්‍යයි.

එනිසා තමයි ජපන් ජාතිකයෙක් නැහැ කියල ඔහුගේ බිරිඳ පෙත්සමක් ඉදිරිපත් කරල තිබුණේ. ඔහුගේ සිරුර තිස්සමහාරාමයේ සමූහ මිනී වළක තිබෙනව කියලත් ඇය කියල තිබුණා. ඒ අනුව හරියටම සුනාමියෙන් වසරකට පස්සේ එම සමූහ මිනී වළේ තිබුණ මළ සිරුරු විසි පහම ගොඩට ගත්තා. පරීක්‍ෂණ සඳහා තාවකාලික

රසායනාගාරයක් එම ස්ථානයේම ස්ථාපිත කළා. ජපානයෙන්ද විශේෂඥ වෛද්‍යවරයෙක් ඇවිල්ල සිටියා. නමුත් මළ සිරුර තිබුණේ නැහැ. තාවකාලික රසායනාගාරයක් එසේ ස්ථාපිත කළේ පළමු වතාවටයි.

ඒ වගේම ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වීඩියෝ සාක්කි උපයෝගි කරගෙන ගාල්ල මහාධිකරණයේ සුනාමි නඩුවක් විභාග කළා. තරුණියකගේ මාලය කඩාගෙන වතුරට දැමූ බවට විත්තිකරුවන් දෙදෙනකුට එම චෝදනාව එල්ල වී තිබුණා.

ලැබුන තොරතුරුවලට අනුව විදේශිකයන් එකසිය පනහකට අධික පිරිසක් සුනාමියෙන් මියගොස් තිබෙනවා. ගාල්ල, මාතර, තංගල්ල, යාල, පොතුවිල් යන ප්‍රදේශවලදී මේ සංචාරකයන් මියගොස් තිබෙනවා. උණවටුන ප්‍රදේශයේ තිබී සංචාරකයන්ගේ මළ සිරුරු රැසක් සොයා ගත්තා.

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික මට්ටමේ පුහුණුව තිබෙන වෛද්‍යවරුන් සිටියත් සුනාමිය එනවිට පහසුකම් නොතිබීම ලොකු අඩුවක් වුණා. නමුත් දැන් මළ සිරුරු හයක් තැන්පත් කළ අධිශීතකරණ කරාපිටිය රෝහලේ සවිකර තිබෙනවා. ඒවායේ දීර්ඝ කාලයක් මළ සිරුරු තබා ගැනීමට පුළුවන්. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පත් කරල තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශයේ පමණක් මෙතෙක් සිදුකළ ජාන පරීක්‍ෂණ දැන රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේත් සිදු කරනවා.

අදවනවිට කරාපිටිය හැරුණවිට දකුණු පළාත් සියලුම ප්‍රධාන රෝහල්වල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් පත්කර සිටිනවා. ඉදිරියේදී ඇතිවන එවැනි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සේවා ස්ථාන වැඩි දියුණු කර තිබෙනවා. ඇඹිලිපිටිය, මොණරාගල ආදි රෝහල්වලත් දැන් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිටිනවා.

ඒ වගේම තමයි සුනාමියෙන් පස්සෙ අපේ රටේ අලුතින් නීති ද සම්පාදනය වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ඇති වුණා. ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් බිහි වුණා. සුනාමියට පෙර මේ ප්‍රතිපාදන තිබුණේ නැහැ. ආපදා කළමනාකරණ ඒකක මගින්ද නිතර නිතර පෙරහුරු පවත්වනවා. එසේ කිරීමෙන් ඉදිරියේදී ආපදාවකදී සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට පුළුවනි.”

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment