නිවැරදි දේ කිරීමේ දී නීතියෙන් බාධා නැහැ….   ඉලක්කගත ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතා පමණක් සැලකිල්ලට ගන්න

166

සුනිත්‍ය බලශක්ති අධිකාරිය නිරීක්‍ෂණයේදී ජනපති නිලධාරීන්ට කියයි

ඉලක්කගත ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීමේ දී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප‍්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක්වන බව ජනාධිපතිවරයා කියා සිටී.

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඊයේ (18 දා) පෙරවරුවේ හදිසි නිරීක්‍ෂණයට ලක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

2007 අංක 35 දරන ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත මගින් මෙම අධිකාරිය පිහිටුවනු ලැබීය.

ශ‍්‍රී ලංකාව පුරා බලශක්ති කාර්යක්‍ෂමතාව ඉහළ නැංවිය හැකි ප‍්‍රධාන ආයතනයක් ලෙස කටයුතු කිරීම ඵලදායී, කාර්යක්‍ෂම හා පරිසර හිතකාමී ලෙස බලශක්ති අවශ්‍යතා සපුරාලීමට පහසුකම් සැපයීම, තිරසාර බලශක්ති සම්පත් කල්තියා හඳුනා ගැනීම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අරමුණ වේ.

බලශක්ති අධිකාරියේ ඉල්ලූම් පාර්ශ්වීය කළමනාකරණ, පර්යේෂණ, උපායමාර්ග බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිතුමා එහි කාර්යභාරයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසීය.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප‍්‍රභවයන් යොදා ගැනීමට ඇති හැකියාව ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමු වී විමසා බැලීම, ජනාධිපතිවරයාගේ චාරිකාවේ අරමුණ විය.

නීති පවතින්නේ ¥ෂණ සහ අක‍්‍රමිකතා මැ`ඩපැවැත්වීමට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදු කිරීමේ දී නීතිය බාධාවක් නොවන බව පැවසීය. හරි දේ කළත්, එය ද වැළැක්වීමට සමහර කණ්ඩායම් විවිධ උපක‍්‍රම යොදාගනී. ඒවාට කිසිදු ඉඩක් නොතැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදෙස් ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. නිවාස ලක්‍ෂයක වහළ මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කර එහි ප‍්‍රතිලාභ අඩු ආදායම්ලාභීන්ටද සලසන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේ දී පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමට විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සියලූ පාර්ශ්වයන් එක්ව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනම්ව ක‍්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය රජයේ අරමුණයි. රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් දායක කරගැනීමට ඇති හැකියාව මෙහිදී විමසුමට ලක් කෙරිණි.

2021 වන විට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් මෙගා වොට් 1,258 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා සඳහන් කළේය.

ඒ අනුව ජෛව ස්කන්ධවලින් මෙගා වොට් 54 ක්, කුඩා ජල ව්‍යාපෘතිවලින් මෙගා වොට් 429 ක්, සෝලාර්පැනල්වලින් වෙගා වොට් 506 ක් සුළංවලින් මෙගා වොට් 249 ක් ලෙස ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

2030 වන විට සමස්ත විදුලි උත්පාදනයෙන් 70% ක රජයේ ඉලක්කය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් සපුරා ගැනීම අපහසු ඉලක්කයක් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. එච්. ඞී. කේ. සමරකෝන්, විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන්, වැඩබලන සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර යන මහත්වරු ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment