සුපර් ලීග් පාපන්දු දෙවන අදියර කල් යයි

104

අදියර 03 ක් යටතේ පැවැත්වීමට සංවිධානය කර තිබුණු මෙරට පළමු සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලියේ දෙවන අදියරේ තරග දින නියමයක් නොමැතිව කල් දමන්නට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පියවර ගෙන තිබේ.

මෙම දෙවන අදියරේ තරග ලබන ජූලි මස 02 දින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබුණි. තරග 15 කින් සැදුම්ලත් වන දෙවන අදියර ලබන ජූලි මස 18 වන දින දක්වා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

මෙරට සමාරම්භක වෘත්තීය පාපන්දු තරගාවලියේ පළමු අදියරේ තරග

පසුගිය අපේ‍්‍රල් මස 19 වැනි දින ආරම්භ කෙරුණු අතර එය මැයි මස 02 දින දක්වා ක‍්‍රියාත්මක කෙරුණි. ඒ ස`දහා සහභාගි වූ ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 කි.

ඉන් අනතුරුව දකුණු කොරියාවේදී පවත්වන ලද ජගත් පාපන්දු ශූරතා තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවන වටයට සහ ආසියානු පාපන්දු ශූරතාවට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට සහභාගි කරවන ලද ශ‍්‍රී ලංකා පිල තෝරා ගැනීම වෙනුවෙන් ජාතික සංචිතය සඳහා ක‍්‍රීඩකයන් මුදාහැරීමට පියවර ගත්තේය. ඒ අනුව දකුණු කොරියාව බලා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා ජාතික පිල එහිදී තරග දෙකකට සහභාගි වුණු අතර එහිදී ලෙබනනය හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස ද, දකුණු කොරියාව හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස ද පරාජය ලැබීමට සිදුවිය. එම ක‍්‍රීඩකයන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ‘කොවිඞ් – 19’ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව නිවෙස්වලට යෑමට පළමුව තමන්ගේ නිරෝධායන ක‍්‍රියාවලියද අවසන් කළේය.

‘කොවිඞ් – 19’’ රෙගුලාසිවලට අනුව රට තුළ පවතින තත්ත්වය මත තම ක‍්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති බැව් පෙන්වා දෙන ක‍්‍රීඩා සමාජ බලධාරීන් මෙවර තරගාවලිය ටික කලකට කල් දමන ලෙස ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙතින් ඉල්ලීම් කර තිබේ. එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කර ඇති ‘කොවිඞ් – 19’ පාලනය කිරීමේ රෙගුලාසි ලිහිල් වූ වහාම ජෛව බුබුලක් යටතේ ක‍්‍රීඩකයන් රඳවා ගනිමින් මෙවර තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම කෙරෙහි ද ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අවධානය යොමු කර තිබීම කැපී පෙනේ. දෙවන අදියර කිරීමට පෙර අවම වශයෙන් සති දෙකක කාලයක්වත් පුහුණුව සඳහා ලබාදෙන ලෙස සියලූම ක‍්‍රීඩා සමාජ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන බලධාරීන් වෙතින් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment