සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

2591

මස්වත්තට අපි ගියෙමු. ඒ මස් මිලදී ගැනීමට නොවේ. සතුන් ඝාතනය කර මස් කරන හැටි දැකගැනීමට ද නොවේ. මස්වත්තේ ජීවත්වන මිනිසුන්ගේ ජීවන තතු විමසා බැලීමටය.

බොරැල්ල – දෙමටගොඩ බේස්ලයින් මාර්ගයෙන් වමට හැරී කොලොන්නාව මාර්ගයේ ටික දුරක් ගමන් කර වේල්ලුවන පටු මාර්ගයට හැරී ටික දුරක් ගමන් කරන විට අටේ වත්ත, දහහතරේ වත්ත සහ තිහේ වත්ත එක පෙළට හමු වේ. තිහේ වත්ත මස්වත්තට කියන තවත් නමකි. ‘ෆාතිමා වත්ත’ එම වත්තට පටබැඳි අලුත්ම නාමයයි. ෆාතිමා වත්ත ‘මස් වත්ත’ ලෙස හඳුන්වා තිබුණේ කොළඹ නගර සභාවෙන් පාලනය වන දෙමටගොඩ පිහිටි මස් මඩුවේ සේවය කළ බහුතරය එම වත්තේ පදිංචිකරුවන් වූ නිසාය. එදා සේවකයන්ට මඩුවෙන් ලබාදුන් මස් පංගුව බොහෝ සේවකයන් මුදලට අලෙවි කර තිබිණි. මේ වත්තේ බහුතරය මස් මඩුවේ සේවය කළ හෙයින් එදවස හැන්දෑවට වත්ත මස් කඩයක් වැනිය. එහෙයින් එම වත්ත ‘මස්වත්ත’ ලෙස ප්‍රසිද්ධ වී තිබේ. එහෙත් මේ වෙනකොට දෙමටගොඩ මස් මඩුවේ හරක් නොමරති. එහෙයින් මස් මඩුවේ සේවය කරනුයේ සුළු පිරිසකි. ඒ පිරිස අතර මස්වත්තේ පදිංචිකරුවන් සිටිනුයේ කිහිපදෙනෙක් පමණි. එදා මෙන් මෙදා එම සේවකයන් ද මස් විකුණන්නේ නැත. වත්තේ පදිංචිකරුවන් කිසිවෙක් මස් වෙළෙඳාම නොකරන්නේය. එහෙත් නම අදට ද ප්‍රසිද්ධය.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

දෙමටගොඩ, වනාතමුල්ල ග්‍රාම සේවා වසමේ පිහිටි මස්වත්තට පිවිසෙන වේල්ලුවන මාර්ගය ද ත්‍රිරෝද රථ දෙකක් මාරුවීමට නොහැකි තරමට පටුය. මාර්ගය දෙපස හිස් බිමක් නොපෙනෙන තරමට කුඩා නිවාසවලින් පිරී තිබේ. දොර පියන් වැසූ සිල්ලර බඩු වෙළෙඳ සලක් ඉදිරිපිට ත්‍රිරෝද රථය නතර කළ අපි මස්වත්තට පයින්ම ගෑටුවෙමු.

වතුවලින් වට වූ මස්වත්ත බාහිරට නොපෙනන තරම්ය. වත්තට ඇතුළුවීමට ඇත්තේ ද පටු පාරකි. ඒ මඟ හැර මස්වත්තට ඇතුළුවීමට වෙනත් කිසිදු පාරක් නැත. යාව පිහිටි කුඩා නිවාස මැදින් වැටී තිබෙන පටු පාර ඔස්සේ පියවර කිහිපයක් යන විට විශාල බෝ ගසක් යට පුංචි කෝවිලක් ඇස ගැටිණි. පාට, පාට තිර රෙදිවලින් වසා තිබූ කෝවිල ඇතුළ නොපෙණිනි. කෝවිලට බද්ධව පිහිටා තිබූ කුඩා නිවස ඉදිරිපිට තරුණ මවක් කුඩා දරුවකුට බත් කවමින් සිටින්නීය.

‘බඩ පිරෙන්න කන්න ඕනෑ…’ ඡායාරූප ශිල්පී කමල් වන්නිආරච්චි පුංචි කොලු පැටියාගේ හිස පිරිමැද එසේ කියන විට මගේ දෑස් අත බැඳි ඔරලෝසුව දෙසට යොමු විය. වේලාව සවස 2 යි. විනාඩි 50 කි.

“දැන් සවස් වෙන්නත් ඇවිත්. දරුවට හොඳටම බඩගිනි ඇති…” තරුණ මව බත්, හොදි හොඳින් අනා ගුලි කර කටට ඔබන සුනංගුවට ගිල දමන පුංචි කොලුපැටියා දෙස බලා මම එසේ කීවෙමි.

‘කඩේ ගිහින් එන්න පරක්කු වුණා…’ තරුණ මවගෙන් කෙටි පිළිතුරකි. කොන්ක්‍රීට් පාර දෙපස නිවෙස් ඉදිරිපිට ඇන තියාගෙන සිටි ගැහැනු, පිරිමි අප දෙසට පැමිණෙමින් සිටිති. තවත් පියවර කිහිපයක් ගිය තැන කුඩා මිදුලකි. ඒ වටා ද කුඩා නිවාසය. මිදුල පුරා කොල්ලො, කුරුට්ටො දුව පැන සෙල්ලම් කරති. දෙදෙනෙක් එකිනෙකාගේ බෙලි මිරිකාගෙන සිටින අයුරු දැක අපි සලිත වීමු.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

“ඒ වත්තෙ ළමයි සෙල්ලම් කරන හැටි…” අපේ දෑස් ඒ දෙසට යොමු වී තිබෙන අයුරු දුටු කාන්තාවක් එසේ කීවාය.

“මේ දවස්වල ඉස්කෝලවල නිවාඩු නිසා උදේ ඉඳලා හවස් වෙනකම් සෙල්ලම…” අපගේ අනන්‍යතාව තහවුරු කිරීමත් සමඟ වත්තේ කාන්තාවන්ගේ කතා පෙට්ටි ඇරුණහ. බොහෝදෙනාගේ උස් හඬ වූයේ අගහිඟකම්ය. දරාගැනීමට නොහැකි ජීවන වියදම හමුවේ කුසට හරි හැටි අහරක් නොලැබෙන බවය. උයා පිහාගැනීමට භූමි තෙල් නැති ගැටලුවය.

“මේ වත්තේ ගෑස්වලින් උයාගන්න පවුලුත් අඩුයි. ගොඩක්ම පාවිච්චි කරන්නේ භූමි තෙල් ළිප්. දැන් මාස ගානකින් භූමි තෙල් නෑ. ගෙවල් ඇතුළෙ දර ළිප් පත්තු කරන්නත් බෑ. දුම පිරිලා ගෙවල්වල ඉන්න බැරි වෙනවා. ඒ නිසා ගෙවල් හතර, පහ එකතු වෙලා දර ළිප් හදාගෙන තියෙනවා. දර නැති නිසා ෂොපින් බෑග් පත්තු කරලා තමයි කෑම උයාගන්නේ…” කට සැර කාන්තාවක් දීර්ඝ කතාවකට එසේ මුල පිරුවාය. ඇය ජනිතාය. මස්වත්තේ ජීවත්වන එකම සිංහල කාන්තාවය. ඇයගේ මුල්ගම පංචිකාවත්තය. දැන් ඇය ජීවත්වනුයේ සැමියාගේ නිවසේය. මොහොතකට ඇයගේ හඬ යටපත් කළ අපේ හඬ ඉස්මතු කළේය.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

අක්කර දෙකකට නොවැඩි කුඩා භූමි ප්‍රමාණයක පිහිටි මස්වත්තේ නිවාස හැට පහකි. වත්ත වටා එකට බද්ධව පිහිටි ඒ නිවාස හැටපහ තුළ පවුල් අනූහයක් ජීවත්වන බව පදිංචිකරුවෝ කීහ. මුස්ලිම් පවුල් දෙකක් හැර සියලුම පවුල් දෙමළ ක්‍රිස්තියානිය. කුඩා නිවාසවල දරු, මුණුබුරු, මිණිබිරියන් සමඟ හය, හත් දෙනා ජීවත්වන බවද ඔවුහු අපට කීහ. එමෙන්ම ඇතැම් කුඩා නිවාස බෙදාගෙන පවුල් දෙක, තුන ජීවත් වන බව ද ඔවුහු කීහ. වයස හැටට වැඩි වියපත් පිරිස ද අසූවකට වැඩි බව ඔවුන්ගේ අදහසය. මස්වත්තේ පාසල් යන දරු, දැරියන් පමණක් හැට, හැත්තෑවකට වැඩිය. තරුණ, තරුණියන් ද ඒ හා සාමන පිරිසකි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග උසස් ලෙස සමත් තරුණ, තරුණියන් ද මස්වත්තේ නැතුවාම නොවේ.

“මම කොමස්වලින් උසස් පෙළ කරලා සී එකයි. එස් දෙකයි. ඉංග්‍රීසිවලට ඒ එකක් අරගෙන සමත් වුණා. දැන් ටුවරිසම් කොම්පැණියක රැකියාව කරගෙන යනවා. මමයි, අම්මයි ජීවත් වෙන්නෙ ඒ රස්සාවෙන් ලැබෙන පඩියෙන්. මේ පවතින ආර්ථික ක්‍රමය තුළ ලැබෙන පඩිය අපි දෙන්නට ජීවත් වෙන්නත් මදි. හොඳ ආයතනවලින් අපිට ජොබ් දෙන්නෙත් නෑ. මම වගේ ඉගෙනගත්ත තව කොල්ලො, කෙල්ලො මේ වත්තේ ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට හරි හැටි ජොබ් එකක් නෑ. ඇප්ලිකේෂන්වල පදිංචි ලිපිනය දැක්කම ඉන්ටර්ව් එකකටවත් අපිව කැඳවන්නේ නෑ. ඒ වගේම මේ වත්තේ හොඳට ඉගෙනගන්න පුළුවන් ළමයි ඉන්නවා. හුඟදෙනෙක් ඉගෙනගන්නේ සිංහල භාෂාවෙන්. වත්තේ ළමයින්ට භාෂා තුනම හොඳට කතා කරන්න, ලියන්න පුළුවන්. ඒත් ඒ ළමයින්ට උගන්වන්න දෙමවුපියන්ට සල්ලි නෑ. අන්තිමේ හොඳට ඉගෙනගන්න පුළුවන් ළමයිත් නාස්ති වෙනවා. අපේ වත්තෙ නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය අඩුයි. ඒත් වත්තේ පිරිමි බහුතරය සූර් වෙන්න හවසට බොනවා. ඉගෙනගෙනත් මේ වතුවල ලැගගෙන හිටියොත් අපිටත් ගොඩඒමක් නෑ. මේ රටේ ජොබ් කරලා වැඩකුත් නෑ. ඒ නිසා තවදුරටත් මේ රටේ ඉඳලා වැඩක් නෑ. වත්තේ කොල්ලො හැමදෙනාම ට්‍රයි කරන්නේ පිටරටකට යන්න…” සුන්දර සිනාවක් මුවඟට එකතු කරගත් තරුණයෙක් අනාගතයේ අඳුරු බව කෙටි වචන කිහිපයකට සීමා කළේය. හේ ඇන්තනීය. වයස අවුරුදු විසිතුනකි. කඩවසම් පෙනුමැති සුන්දර තරුණයෙක් වූ ඇන්තනී ආලෝකයක් නොපෙනන, නිදහසක් නැති වතු ජීවිතය ගැන කලකිරීමෙන් පසුවන බව වචනවලින් අපට වැටහිණි. එහෙත් භාෂා තුනක්, චතුර ලෙස කතා කළ හැකි බව පැවසූ සොනාලි කීවේ කොළඹ හැරදා වෙනත් ප්‍රදේශයකට යෑමට වත්තේ මිනිස්සු අකැමැති බවය.

“අපේ වත්තේ බහුතරය ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. කුලී ගෙවල්වල ජීවත්වෙන්න ඒ ලැබෙන සොච්චම මදි. ඒ වගේම දැන් අපිට කොළඹින් පිට ගමකට ගිහිල්ලා ජීවත් වෙන්න අමාරුයි. මාර්කට්, හොස්පිටල් සේරම පහසුකම් අත ළඟ. අපි ඒ සමාජ රටාවට හුරුවෙලා ඉවරයි. ඒ නිසා අපේ මිනිස්සු එකගොඩේ හිටියත් ඈත පළාත්වලට යන්න කැමති නෑ. ගම්වලට ගිහින් කරන්න රස්සාවකුත් නෑ. කොළඹ ගෙවල් දෙනවා නම් අපි යන්න කැමති. නැතිනම් මේ වත්තේ එකගොඩේ හරි ජීවත් වෙනවා. ගම්වලට ගිහින් ඒ සමාජ රටාවට හුරු වෙන්න අපිට කාලයකුත් නෑ…” චතුර ලෙස වචන හසුරුවන සොනාලි මස්වත්තේ පදිංචිකරුවන් කොළඹ අතහැර යෑමට ඇති නොකැමැත්ත කෙටියෙන් පැහැදිලි කළාය. සොනාලිට වයස අවුරුදු විස්සකි. කුඩා කාලයේදීම ඇයගේ පියා රිය අනතුරකින් සහ මව රෝගයකින් මිය ගොස් ඇත. මිත්තණිය සමඟ හැදුණු වැඩුණු ඇය අඹුසැමි ජීවිතයට ඇතුළු වී ඇත්තේ වයස අවුරුදු පහළොවේදීය. මේ වන විට පුංචි දරුවෙක් සිටින සොනාලිගේ සැමියා ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන බව ඇය අපට පැවසුවාය. එමෙන්ම සැමියා සිංහල ජාතිකයෙක් බව ද ඇය කීවාය. ඇයගේ හීන් හඬින් දෙසවන පිරෙන අතරේ මගේ දෑස් වත්තේ අහුමුළු නෑර දිව ගියේය.

පුංචි මිදුල කෙළවරක නිවාස පේළි අතර මුහුණට, මුහුණ ඉදි වූ පොදු වැසිකිළි පේළි දෙකකි. අපි ඒ දෙසට පියවර තැබුවෙමු. දොර පියන් විවෘතව තිබෙන එම වැසිකිළි දිහා බැලීමට නොහැකි තරමට අපවිත්‍ර වී තිබෙන අයුරු දුටු මා පියවරක් පසුපසට තැබුවෙමු. වැසිකිළිවලට ජලය ලබාගන්නා එකම ජල කරාමය අසල ද අඩිය තැබීමට නොහැකි තරමට මළ ජරාවය. ‘මුඛ ආවරණ පැළඳ සිටීම වාසනාවකි…’ මගේ යටි සිත, උඩු සිතට එසේ කීවේය. අපවිත්‍ර වැසිකිළි පේළියේ පමණක් නොව මස් වත්ත තුළදී ඇස ගැටෙන සෑම විශේෂ අවස්ථාවක්ම කමල් විසින් කැමරා කාචයේ සටහන් කර ගන්නා අතරේ අපි පුංචි මිදුල එහා කෙළවරේ පිහිටි පොදු ළිඳ අසලට ගියෙමු. තරමක් විශාල පැරැණි ළඳික් බව බැලූ බැල්මට පෙනේ. අදටත් වත්තේ බොහෝදෙනා දිය නාන්නේ එම ළිඳෙන් බව අසල සිටි වැඩිහිටියෙක් අපට කීවේය.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

“මම මේ වත්තට ඇවිත් අවුරුදු පනස් අටක් වෙනවා. එතකොටත් ඔය පොදු ළිඳ තිබුණා. ඒ කාලේ වත්තෙ හැමෝම මූණ කට සේදුවේ, නෑවේ ඔය ළිඳෙන්. දැන් නම් ගෙවල්වලත් ටැප් තියෙනවා. ඒත් පුරුද්දට හුඟදෙනෙක් නාන්නෙ පොදු ළිඳෙන්…”

“මගේ මුල්ගම මීතොටමුල්ල. රස්සාව කළේ මස් මඩුවේ. කොල්ල කාලේ මේ වත්තෙන් කසාදයක් බැඳගත්තා. දැන් මගේ දරුවො සේරම පදිංචි වෙලා ඉන්නෙත් මේ වත්තේ. මගේ දැනීමේ හැටියට මේ වත්තට අවුරුදු සියකට වැඩියි…” මස්වත්තේ කෞතුක වස්තුවක් වූ සෙබස්තියන් අසීරුවෙන් වචන පිට කරන විට අපි මස්මඩුව ගැන ඔහුගෙන් විමසුවෙමු.

“හොඳ රස්සාව. ඒ කාලෙත් රුපියල් දෙසිය, තුන්සීයක පඩියක් ලැබුණා. ඊට අමතරව හැමදාම මස් දුන්නා. එකසිය හතළිස් තුන්දෙනෙක් වැඩ කළා. සේරම නිලධාරීන් ඉන්දියන්කාරයො. වැඩ කරපු සේවකයන් හුඟ දෙනෙක්ම දෙමළ. ඒ වගේම සේවකයො, නිලධාරීන් හැමෝම වගේ ස්ථිර නෑ. අන්තිමේ අපිට කිසිම දෙයක් නැතිව දොට්ට බහින්න වුණා…” සෙබස්තියන්ගේ කතාවට වත්තේ වියපත් මවක් ද එකතු විය. ඇය මස්වත්තේ වයස්ගතම කාන්තාවය. වයස අවුරුදු අසූවකි. ඇයට වැඩිමහල් පිරිමි පුද්ගලයෙක් ද මස්වත්තේ නොමැති බව අසල්වාසීහු පැවසූහ. දරුවන් සිව්දෙනකුගේ මවක් වන ඇය දැන් තුන් මුණුබුරු, මිණිබිරියන් ද දැක අවසානය. විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳින ඇය මෙතරම් කාලයක් ජීවත්වනුයේ වෛද්‍ය විද්‍යාවේ බලයෙන් බව ද ඇය අපට කීවාය.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

“මට දරුවො හතරදෙනෙක් ඉන්නවා. තුන්දෙනෙක් කසාද බැඳලා. කසාද නොබැඳපු දුවයි, පොඩි පුතාලාගේ පවුලයි, වයසක මමයි සේරම ජීවත් වෙන්නේ එකම ගෙදර…”

‘හපොයි…’ ඒ පුංචි නිවස ඇතුළත දැක්ක මට හීල්ලිණි. කමල් දෑස් නළලට ගෙන මගේ දිහා බැලුවේය. හත්අට දෙනෙක් ජීවත් වනවා විනා දෙදෙනකුටවත් අතපය දිගහැර ජීවත් වෙන්නට ඒ නිවෙස ඉඩකඩ මදිය. එම නිවස තුළින් හිස ගත් අපි වෘත්‍රාකාර මස්වත්ත වටේ ඇවිඳ ගියෙමු. පුංචි කාමරයක පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානය අසලින් ඇතුළට ගිය තැන සිට වත්ත අඳුරු ගුහාවකි. එකදු නිවසක් හෝ කළඑළියට නැත. ඇතුළුවීමට සහ පිටවීමට දොරවල් තිබුණ ද, කිසිදු නිවසක ජනෙල් තිබෙන බවක් නොපෙනිණි. එමෙන්ම සෑම නිවසක්ම අඩි හයකට වඩා උස නැත. ඇතැම් නිවෙස් ඉදිරිපිට දර ළිප්ය. නිවෙසක විසිකරන ඉඳුල් වැටෙනුයේ තවත් නිවෙසක දොරකඩටය. නිවාස පේළි දෙකක් අතර පරතරය අඩි දෙකකට වඩා නැත. එබිකම් කළ බොහෝ නිවෙස් තුළ පුටුවක්වත් දකින්නට නොතිබිණි. ඇතැම් නිවෙස් තුළ පැදුරු එළාගෙන මිනිසුන් මහ දවාලෙත් නිදිය.

සුපිරි කොළඹ මැද අවුරුදු සියය පිරෙන දුප්පත්ම ගම මස්වත්ත

“මේ ගෙවල්වල රෑට නිදාගන්නෙ පැදුරු දාගෙන එක ගොඩේ. අතපය එහාට, මෙහාට විසි කරන්නවත් ඉඩ මදි. මෙහෙම ජීවත්වෙනකොට ලෙඩත් වැඩියි. වත්තේ කොල්ලන්ටත් සීනි, කොලෙස්ටරෝල්, ෆෙෂර් තියෙනවා. සීනි හැදිච්ච සමහර වයසක අයගේ කකුල් කපලා. පිළිකා රෝගීන් ඉන්නවා. ඇදුම නැති පුංචි ළමයෙක් ඉන්නේ කලාතුරකින්. ජාතික රෝහල ළඟ නිසා ලෙඩ දුක්වලට පිහිටක් තියෙනවා. සල්ලිවලට බෙහෙත් ගන්න ගියා නම් වත්තේ වයස මිනිස්සු මැරිලා බොහෝ කාලයක් වෙනවා. ඒ පහසුකම් නිසා තමයි මේ වතුවල මිනිස්සු කොළඹින් පිට පළාත්වලට යන්න අකමැති. ඒ වගේම දැන් අපි මේ ජීවිතවලට හුරු වෙලා ඉන්නේ…” ඒ කතා කළේ සිල්වෙස්ටර් සදුන්කර්ය. වයස අවුරුදු විසිඑකකි. අධ්‍යාපනය ලබා ඇත්තේ 10 වැනි වසරට පමණි. දැන් ඔහුට ස්ථිර රැකියාවක් නැත.

මස්වත්තේ තරුණ, තරුණියන් සහ වැඩිහිටියන් බහුතරය පවසනුයේ උපන්දා සිට හුරුවී සිටින සමාජ ක්‍රමයෙන් ඈත්වීමට නොහැකි බවය. හුරු වී සිටින ජීවන රටාවකින් වෙනස්වීම අසීරු බව සැබෑය. එහෙත් ජීවිත ජයගෙන ඇත්තේ වෙනස් විදිහට හිතන, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගිය මිනිසුන්ය. මස්වත්තේ මිනිසුන්ට වැටී සිටින නරා වළෙන් ගොඩවීමට නම් ජීවිත වෙනස් කරගත යුතුමය. එමෙන්ම පවතින අර්බුදකාරී ආර්ථික ක්‍රමය තුළ තව වසර ගණනාවකට කොළඹ මහල් නිවාස නොලැබෙන බව ද ඒ මිනිසුන් සිතට ගත යුතුය. නරා වළේ ළඟිනවාද? නිදහසේ පියඹා යනවාද? තීරණය ඔවුන් සතුය.

විශේෂ ස්තූතිය දිසා අංක 03 කොට්ඨාස ප්‍රජා නායක සුනිල් කුමාර මහතා.

තරංග රත්නවීර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment