සුපිරි ටොයිලට් වැසෙයි

691

ටොයිලට් ටිෂූ (Toilet Tissue) ඇතුළු ආනයනික භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වීමේදී රජය විසින් පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ඉදිරියේදී ටොයිලට් ටිෂූ ඇතුළු සනීපාරක්‍ෂක නිෂ්පාදන රැසක බරපතළ හිඟයක් ඇති විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ඉහත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්විය නොහැකිවීම හේතුවෙන් රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ගුවන් සේවා සමාගම්, හෝටල් ආදියේ සනීපාරක්‍ෂක සේවාවන් ඉදිරියේදී නිසි පරිදි පවත්වාගෙන යෑමේ නොහැකි තත්ත්වයක් උදාවන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත විදේශීය සංචාරකයන් ලක්‍ෂ 10ක් රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක මෙම ආනයන සීමාව පැනවීම හේතුවෙන් ඉදිරියේදී සංචාරක කර්මාන්තයට ද බරපතළ හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවය.

විදේශීය සංචාරකයන්ගේ සනීපාරක්‍ෂාව පිණිස අවශ්‍ය ටොයිලට් ටිෂූ ඇතුළු අනෙකුත් සනීපාරක්‍ෂක නිෂ්පාදන නිසි පරිදි සැපයීමට නොහැකි තත්ත්වයක් තුළ සංචාරකයන් මෙරට සංචාරය සඳහා යොමුවේද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මේ හරහා මතුවන බව පවසන වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ මෙරට ජනතාව ද තම තමන්ගේ පෞද්ගලික සනීපාරක්‍ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිටින වටපිටාවක ඉහත නිෂ්පාදන අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.

රජය විසින් මේ සඳහා ආනයන සීමා පැනවීම හේතුවෙන් රටේ සනීපාරක්‍ෂාව මෙන්ම ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්හි නිරත විශාල පිරිසකගේ රැකියා අවස්ථා ද අහිමි වීමේ අවදානමක් හටගෙන ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment